හංගේරියාවේ European electric car factory එකක් ඉදි කරන බව BYD සමාගම තහවුරු කරයි

චීනය කියන්නේ වාහන ලෝකයේ පෙරළියක් සිදු කරන රටක්. කෙටියෙන්ම කිව්වොත් ලෝකයේ විශාලතම වාහන වෙළඳපොල අයත් රට තමයි චීනය. ඉතින් අද MotorGuide weekly news තුළින් අපි ඔබට කියන්නේ වාහන වෙළඳපොල තුළ චීනය ගත් තවත් විශාල පියවරක් ගැනයි.
ලොව විශාලතම විදුලි වාහන නිෂ්පාදකයන්ගෙන් එක් අයෙක් වන චීනයේ BYD, සිය පළමු යුරෝපීය EV නිෂ්පාදන කර්මාන්තශාලාව හංගේරියාවේදී විවෘත කිරීමට නියමිත බව එරට විදේශ අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා. මෙය යුරෝපයේ මෝටර් රථ නිපදවන පළමු චීන සමාගම බවට පත් වෙන බවයි ඔවුන් සඳහන් කරන්නේ.
BYD විසින් දකුණු හංගේරියානු නගරයක් වන Szeged අසල මෙම කර්මාන්තශාලාව ඉදි කිරීමට කටයුතු කර තිබෙනවා. මෙමඟින් නව රැකියා දහස් ගණනක් ලබා දීමට අපේක්ෂා කරන බවයි විදේශ අමාත්‍ය Péter Szijjártó සිය ෆේස්බුක් පිටුවට ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ.
ඒ වගේම මෙම ව්‍යාපෘතිය හංගේරියානු ආර්ථික ඉතිහාසයේ විශාලතම ආයෝජනවලින් එකක් වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. එසේම බලාගාරය ගොඩනැඟීම සඳහා රජය BYD වෙත මූල්‍ය දිරිගැන්වීම් ලබා දෙන බවත්, එහි විස්තර පසුව නිකුත් කරන බවත් ඔහු සඳහන් කළා.





























