මොකද්ද මේ වාහන වල තියන Ambient Lighting කියන්නෙ.

Motor Guide අපි අද කතා කරන්න යන්නෙ රිය පැදවීමේදී අපේ මනසට පුදුමාකාර සැහැල්ලුවක් සහ සතුටක් දෙන, ඒ වගේම වාහනය ඇතුළත පෙනුම සම්පූර්ණයෙන්ම සුඛෝපභෝගී මට්ටමකට ගෙන යන නවීන වාහනවල එන ගොඩක් ලස්සන පහසුකමක් ගැනයි. ඒ තමයි වාහනවල තියෙන Ambient Lighting තාක්ෂණය. අපි හැමෝම දන්නවා රෑ කාලයේදී වාහනයක් පදවනකොට වාහනය ඇතුළත තද කළුවර මට්ටමක පවතින එක සමහර වෙලාවට පාලු ගතියක් වගේම ඇස්වලට ලොකු මහන්සියක් ගෙන දෙන දෙයක්. අන්න ඒ ප්රශ්නයට කදිම සහ ආකර්ෂණීය විසඳුමක් විදිහට තමයි නවීන වාහන නිෂ්පාදකයෝ මේ අභ්යන්තර ආලෝකකරණ පද්ධතිය හඳුන්වා දීලා තියෙන්නේ. අද අපි මේ සිස්ටම් එක වැඩ කරන්නේ කොහොමද, මෙහි තියෙන සැබෑ ප්රයෝජන සහ මෝටර් රථ ක්ෂේත්රයේ මේ හරහා සිදුවෙලා තියෙන තාක්ෂණික පෙරළිය මොකක්ද කියලා බලමු.
සරලවම කිව්වොත්, Ambient Lighting කියන්නේ වාහනයේ dashboard එක, දොරවල්වල ඇතුළු පැත්ත, footwell හෙවත් පාද තබන ප්රදේශය වගේම center console එක වැනි විවිධ සංවේදී ස්ථානවල සවි කරලා තියෙන මෘදු සහ සියුම් ආලෝක ධාරාවන් විහිදුවන ඉලෙක්ට්රොනික ආලෝක පද්ධතියක්. මෙතැනදී සාමාන්ය වාහනවල වහලේ එන cabin light වගේ තද ආලෝකයක් නිකුත් වෙන්නේ නැහැ. රියදුරුගේ ඇස්වලට කිසිදු බාධාවක් හෝ පරාවර්තනයක් ඇති නොවී, වාහනයේ ඇතුළත හැඩතල ලස්සනට ඉස්මතු කර පෙන්වන එක තමයි මෙයින් සිද්ධ වෙන්නේ. මේ ක්ෂේත්රයේ ඉන්න අය විදියට අපි දකින දෙයක් තමයි, Mercedes Benz, BMW, Audi වගේම වර්තමානයේ එන අලුත් Honda Vezel සහ Toyota Prius වැනි වාහනවල පවා මෙම තාක්ෂණය ඉතාම ඉහළ මට්ටමකින් භාවිත කරමින් ධාවන සුවපහසුව අතිශය ඉහළ තලයකට ඔසවා තබන්න ඉංජිනේරුවන් කටයුතු කරලා තිබෙනවා.
මේ පද්ධතිය පිටුපස ඉතාම සියුම් semiconductor තාක්ෂණයෙන් යුතු light emitting diode හෙවත් LED බල්බ සහ optical fiber නූල් ජාලයක් එක දිගටම ක්රියාත්මක වෙනවා. මේ හැම කොටසක්ම පාලනය කරන්නේ වාහනයේ තියෙන body control module එක සහ interior lighting control unit එක මඟිනුයි. අපි වාහනයේ infotainment screen එක හරහා Ambient Lighting සිස්ටම් එක ක්රියාත්මක කළාට පස්සේ, අපිට කැමති විදිහට මේ සම්පූර්ණ පද්ධතියේ හැසිරීම් රටාව වෙනස් කරගන්න පුළුවන්.
නූතන පද්ධතිවල ක්රියාකාරීත්වය මූලිකවම ප්රධාන තාක්ෂණික විශේෂාංග කිහිපයක් යටතේ සිදුවෙනවා.
පළමුවැන්න තමයි RGB color customization පහසුකම. නවීන වාහනවල වර්ණ 64ක් හෝ ඊටත් වඩා වැඩි ප්රමාණයක් අතරින් තමන්ට කැමතිම පාටක් තෝරාගැනීමට හෝ වර්ණ කිහිපයක් එකතුවුණු dynamic themes සක්රීය කරගැනීමට හැකියාව පවතිනවා.
දෙවැන්න තමයි brightness control එක. රෑ කාලයේදී තමන්ගේ ඇස්වල මට්ටමට ගැලපෙන පරිදි ආලෝකයේ තීව්රතාවය අඩු වැඩි කරගන්න මෙයින් පුළුවන්.
තවද, නවීනතම වාහනවල එන active ambient lighting පද්ධති මීට වඩා පියවරක් ඉදිරියට ගිහින් ක්රියාත්මක වෙනවා. මේවා වාහනයේ ප්රධාන advanced driver assistance systems හෙවත් ආරක්ෂක පද්ධතීන් සමඟ සෘජුවම සම්බන්ධ වෙලයි තියෙන්නේ. උදාහරණයක් විදිහට, ඔබ වාහනය පදවන අතරතුර පාරේ ඉරක් උඩින් වාහනය ගියොත් ඒ කියන්නෙ lane departure warning එකක් ආවොත්, දොරේ තියෙන Ambient Lighting පටිය ක්ෂණිකව රතු පාටින් flashing වෙමින් රියදුරුට අනතුරක් අඟවනු ලබනවා. එසේම blind spot assist මඟින් පිටුපසින් වාහනයක් එන බව හඳුනාගත්තොත් හෝ safe exit warning පද්ධතිය මඟින් දොර ඇරීම අවදානම් බව පෙන්වුවහොත් මෙම ආලෝක ධාරාවන් රතු පැහැයට හැරී රියදුරුව දැඩි ලෙස දැනුවත් කරනවා.
ඒ වගේම ඔබ වාහනයේ A/C උෂ්ණත්වය අඩු කරන විට නිල් පාටින්ද, උෂ්ණත්වය වැඩි කරන විට රතු පාටින්ද මේ ආලෝකය ස්වයංක්රීයව වෙනස් වීම තවත් එක අපූරු තාක්ෂණික වැඩ කෑල්ලක්.
මේ නවීන තාක්ෂණය නිසා ප්රායෝගික ජීවිතයේදී අපිට ලැබෙන වාසි සහ පහසුව අතිමහත්. ප්රධානම වාසිය තමයි driver fatigue හෙවත් දිගුකාලීන රිය පැදවීමේදී ඇතිවන මානසික සහ ශාරීරික මහන්සිය අවම කිරීමයි. විද්යාත්මක පර්යේෂණවලින් තහවුරු වෙලා තියෙනවා නිල් හෝ තැඹිලි වැනි මෘදු වර්ණ නිසා රියදුරාගේ අවධානය සහ සන්සුන් බව ඉහළ යන බව. දෙවැන්න තමයි වාහනය ඇතුළත ඇති switch සහ buttons රාත්රී කාලයේදී ඉතාම පහසුවෙන් සොයාගැනීමට මගීන්ට මඟ පෑදීමයි.
කෙසේ වෙතත්, මේකෙ අවාසි කිහිපයකුත් පවතිනවා. ඔබ වාහනයට බාහිරින් aftermarket පද්ධති සවි කිරීමට ගියොත්, වාහනයේ තියෙන සංවේදී electrical wiring පද්ධතියට හානි වෙන්න පුළුවන්. බාල වර්ගයේ LED strips නිසා වාහනය ඇතුළත short circuit ඇතිවීමේ බරපතල අවදානමකුත් තියනවා. ඒ වගේම, ඕනෑවට වඩා තදින් ආලෝකය පවත්වා ගත්තොත් රාත්රී ධාවනයේදී ඉදිරිපස සහ පැති වීදුරුවලින් බාහිර පරිසරය පෙනීමේ පරාසය හෙවත් night vision එක තරමක් අඩු වෙන්න පුළුවන්.
Motor Guide අපේ උපදෙස නම්, ඔබේ වාහනයේ Ambient Lighting පද්ධතිය භාවිත කරන විට රාත්රී කාලයේදී එහි brightness එක සැමවිටම 40%ක් හෝ 50%ක් වැනි මධ්යම මට්ටමක පවත්වා ගන්නා ලෙසයි. ඒකෙන් ඇස්වලට සිදුවන වෙහෙස අවම වන අතර ආරක්ෂාවද උපරිම වෙනවා. ඒවගේම, ඔබේ වාහනයට බාහිරින් අලුතින් මෙම ආලෝක පද්ධති සවි කරනව නම්, කිසිම විටක වාහනයේ නිල වයර් කැපීමෙන් තොරව fuse tap ක්රමවේද භාවිත කරන සහතික ලත් විශේෂඥයන් ලවාම පමණක් එය සිදු කරවා ගැනීමට වගබලා ගන්න. නියමිත ප්රමිතියට අනුව විදුලි පද්ධතිය ආරක්ෂා කරගනිමින් මේ සුපිරි පහසුකම භාවිත කිරීමෙන් ඔබේ වාහනයෙන් දිගුකාලීන මෙන්ම උපරිම වින්දනයක් ලබාගන්න පුළුවන්. ඒ වගේම නවීන වාහන සහ තාක්ෂණය ගැන මෙවැනිම වටිනා තොරතුරු දැනගන්න හැමදාමත් අපේ Motor Guide එක්ක රැඳී ඉන්න කියලත් මතක් කරනව.

ලියන ලද්දේ
Nisaga Sandaru
A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.






































