නවීන වාහන වල තියෙන Digital Key / NFC Access

Motor Guide අපි අද කතා කරන්න යන්නෙ අපේ එදිනෙදා ජීවිතය තවත් පහසු කරන, ඒ වගේම සාම්ප්රදායික වාහන යතුරු කලාව සම්පූර්ණයෙන්ම වෙනස්ම මානයකට ගෙන යන්න සමත් වුණු තාක්ෂණයක් ගැනයි. ඒ තමයි නවීන වාහනවල දකින්න ලැබෙන Digital Key සහ NFC Access තාක්ෂණය. අපි හැමෝම දන්නවා අතීතයේදී වාහනයක් පණගන්වන්න සාමාන්ය යතුරක් පාවිච්චි කළ අතර පසුව එය smart key fob එකක් දක්වා දියුණු වුණා. හැබැයි අද වෙනකොට මේ හැමදේටම වඩා ඉදිරියට ගිහින්, තමන්ගේ සාක්කුවේ තියෙන smartphone එක හෝ smart watch එක විතරක් පාවිච්චි කරලා වාහනයේ දොරවල් ඇරීමට වගේම වාහනය පණගැන්වීමටත් නවීන වාහන නිෂ්පාදකයෝ පහසුකම් සලසා දීලා තියෙනවා. අද අපි මේ සුපිරි තාක්ෂණය වැඩ කරන්නේ කොහොමද, මෙහි තියෙන සැබෑ ප්රයෝජන, ආරක්ෂාව සහ මෝටර් රථ ක්ෂේත්රයේ මේ හරහා සිදුවෙලා තියෙන තාක්ෂණික පෙරළිය මොකක්ද කියලා බලමු.
සරලවම කිව්වොත්, Digital Key කියන්නේ වාහනයේ සාම්ප්රදායික physical යතුර වෙනුවට ඔබේ smartphone එකෙහි ඇති සුවිශේෂී ආරක්ෂිත මෘදුකාංග පද්ධතියක් හරහා වාහනය පාලනය කිරීමට ලබා දෙන ඩිජිටල් යතුරකටයි. මෙහිදී මූලිකවම NFC හෙවත් near field communication තාක්ෂණය සහ UWB හෙවත් ultra wideband තාක්ෂණයන් භාවිත කරනු ලබනවා. BMW, Mercedes Benz, Tesla වගේම අලුත්ම Toyota සහ Hyundai වැනි වාහන නිෂ්පාදකයෝ මෙම තාක්ෂණය ඉතාම ඉහළ මට්ටමකින් තමන්ගේ නවීන මාදිලිවලට එකතු කරලා, යතුරු අමතක වීම් හෝ නැතිවීම් වැනි ප්රශ්නවලට සදාකාලික විසඳුමක් ලබා දෙන්න කටයුතු කරලා තිබෙනවා.
මේ පද්ධතිය පිටුපස වාහනයේ දොර හැඬල් එක ඇතුළත සවි කර ඇති NFC reader sensors, වාහනයේ ඇතුළත ඇති UWB antennas, main body control module සහ අතිශය ආරක්ෂිත cryptographic chips ජාලයක් එක මෙකෙ අඩංගු වෙනවා. අපි අපේ දුරකථනයේ තියෙන Apple Wallet හෝ Google Wallet වගේ සේවාවන් හරහා වාහනයේ Digital Key එක මුලින්ම register කරගත්තාට පස්සේ, මේ මුළු ක්රියාවලියම සිද්ධ වෙන්නේ ඉතාම වේගවත් පියවර කිහිපයකින්.
අපි වාහනය අසලට යන විට, NFC access පද්ධතිය ක්රියාත්මක කිරීමට නම් දුරකථනය වාහනයේ දොර හැඬල් එකට සෙන්ටිමීටර කිහිපයක් ළඟින් තැබිය යුතු වෙනවා. එවිට phone එකෙහි ඇති NFC chip එක සහ හැඬල් එකේ ඇති sensor එක අතර ඉතාම කෙටි දුරක් ඇතුළත රේඩියෝ සංඥා හුවමාරුවක් සිදුවෙනවා. මෙම සංඥා මඟින් අතිශය රහසිගත ඩිජිටල් කේතයක් (Encrypted Code) වාහනයේ body control module එක වෙත යවන අතර, එය නිවැරදි බව තහවුරු වූ සැනින් වාහනයේ දොරවල් ස්වයංක්රීයවම unlock වෙනවා. ඊටපස්සේ වාහනය ඇතුළත ඇති wireless charging pad එක මත හෝ නියමිත ස්ථානයේ දුරකථනය තබා start button එක එබූ විට වාහනය ක්ෂණිකව පණගැන්වෙනවා.
නමුත් මීට වඩා දියුණු UWB තාක්ෂණය භාවිත වන වාහනවලදී දුරකථනය සාක්කුවෙන් එළියට ගැනීමටවත් අවශ්ය වෙන්නේ නැහැ. වාහනයේ ඇති ඇන්ටනා මඟින් මීටර් කිහිපයක් ඈතින් ඔබ එන බව හඳුනාගෙන, ඔබ වාහනය අසලට පැමිණෙන විටම දොරවල් විවෘත කරනවා වගේම ඔබ වාහනයෙන් බැස මීටර් කිහිපයක් ඈතට යන විට ස්වයංක්රීයවම වාහනය lock කර දමනු ලබනවා. තවත් සුවිශේෂී තාක්ෂණික වැඩ කෑල්ලක් වෙන්නේ, මෙම Digital Key එක ඔබේ පවුලේ සාමාජිකයෙකුට හෝ මිතුරෙකුට iMessage හෝ WhatsApp හරහා ඉතාම පහසුවෙන් share කිරීමට ඇති හැකියාවයි. ඔබට අවශ්ය නම් එම යතුර වලංගු වන කාල සීමාවන් වැනි දේවල් පවා දුරකථනයෙන් පාලනය කරන්න පුළුවන්.
මේ නවීන තාක්ෂණය නිසා ප්රායෝගික ජීවිතයේදී අපිට ලැබෙන වාසි සහ පහසුව අතිමහත්. ප්රධානම වාසිය තමයි පහසුව. සාක්කුවේ හෝ බෑග් එකේ යතුරු සොයමින් රස්තියාදු වීමට අවශ්ය වෙන්නෙ නෑ වගේම දුරකථනය පමණක් 100%ක්ම ප්රමාණවත් වෙනවා.
දෙවැන්න තමයි, දුරකථනයේ බැටරිය සම්පූර්ණයෙන්ම බැස ගියත් (Dead Battery), බොහෝ නවීන NFC access පද්ධති දුරකථනය off වෙලා පැය කිහිපයක් යනතුරුත් ක්රියාත්මක වීමට අවශ්ය විදුලි බලය රඳවා ගන්නා නිසා අතරමන් වීමේ බියක් ඇති වෙන්නේ නැහැ.
කෙසේ වෙතත්, මෙහි ආරක්ෂක ගැටලු කිහිපයක් පිළිබඳවත් අපි සැලකිලිමත් වෙන්න ඕනෙ. දුරකථනය නැති වුවහොත් හෝ වෙනත් අයෙකු අතට පත් වුවහොත් වාහනයේ ආරක්ෂාව අනතුරේ වැටිය හැක. එබැවින් සැමවිටම දුරකථනයේ ඇති face id හෝ fingerprint lock වැනි biometric ආරක්ෂාවන් මේ සඳහා අනිවාර්යයෙන්ම සක්රීය කර තිබීම ඉතාම වැදගත්.
Motor Guide අපේ උපදෙස නම්, ඔබ Digital Key තාක්ෂණය භාවිත කරන්නේ නම්, කිසියම් හදිසි අවස්ථාවකදී දුරකථනයට සිදුවන කාර්මික දෝෂයකින් බේරීම සඳහා වාහනය සමඟ ලැබෙන ක්රෙඩිට් කාඩ්පතක හැඩය ඇති physical NFC smart card එක සැමවිටම ඔබේ පසුම්බියේ (Wallet) අමතර යතුරක් ලෙස සූදානම් කර තබා ගන්නා ලෙසයි. එමෙන්ම වාහනයේ මෘදුකාංග පද්ධතීන් නියමිත කාලයට Updates කිරීමට වගබලා ගන්න. මන්ද සයිබර් ප්රහාර සහ හැකර්වරුන්ගෙන් (Hacking) ඔබේ ඩිජිටල් යතුර ආරක්ෂා කර ගැනීමට නිෂ්පාදකයන් විසින් නිතරම ආරක්ෂක පද්ධති දියුණු කරනු ලබන බැවිනි. නිවැරදිව ආරක්ෂක පියවර අනුගමනය කරමින් මේ සුපිරි පහසුකම භාවිත කිරීමෙන් ඔබේ වාහනයෙන් දිගුකාලීන මෙන්ම උපරිම තාක්ෂණික වින්දනයක් ලබාගන්න පුළුවන්. ඒ වගේම නවීන වාහන සහ තාක්ෂණය ගැන මෙවැනිම වටිනා තොරතුරු දැනගන්න හැමදාමත් අපේ Motor Guide එක්ක රැඳී ඉන්න කියලත් මතක් කරනව.

ලියන ලද්දේ
Nisaga Sandaru
A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.






































