HVAC system එක ගැන ඉගෙනගමු.

Motor Guide අපි අද කතා කරන්න යන්නෙ වාහනයක් පදවනකොට අපේ සුවපහසුවට, ධාවන නිදහසට වගේම අපේ සෞඛ්යයටත් සෘජුවම බලපාන, හැබැයි නම ඇහුණාම ගොඩක් අයට තරමක් සංකීර්ණයි වගේ හිතෙන වාහනයක තියෙන ප්රධානම පද්ධතියක් ගැනයි. ඒ තමයි වාහනවල එන HVAC system එක.
අපි හැමෝම සාමාන්යයෙන් දන්නේ වාහනයක තියෙන air conditioner එක ගැන විතරයි. හැබැයි මේ HVAC කියන්නේ ඊට වඩා ගොඩක් පුළුල්, වාතය සිසිල් කිරීමට අමතරව වැසි දිනවලදී වාහනයේ වීදුරුවල මීදුම බැඳීම නැති කිරීම වැනි තවත් ප්රධාන කාර්යයන් කිහිපයක් සිදුකරන පද්ධතියකටයි. අද අපි මේ පද්ධතිය ඇත්තටම ක්රියා කරන්නේ කොහොමද, මෙහි තියෙන සැබෑ ප්රයෝජන, අවාසි සහ මෙහි අඩංගු වෙන සියලුම කොටස් මොනවාද කියන එක ගැන හරියටම තේරුම් ගමු.
සරලවම කිව්වොත්, HVAC කියන කෙටි නාමය හැදිලා තියෙන්නේ heating, ventilation, and air conditioning කියන ඉංග්රීසි වචන තුන එකතු වීමෙනුයි. වාහනයකදී heating කියන්නේ එන්ජිමේ රස්නය පාවිච්චි කරලා සීතල දවස්වලට වාහනය ඇතුළත උණුසුම්ව තබා ගැනීමයි. ventilation කියන්නේ වාහනය ඇතුළත තියෙන අහිතකර වාතය ඉවත් කරලා බාහිරින් පිරිසිදු නැවුම් වාතය ඇතුළට ලබා දෙන වායු සංසරණ ක්රියාවලියයි. air conditioning කියන්නේ අපි කවුරුත් හොඳින්ම දන්නා පරිදි අධික රස්නය තියෙන වෙලාවට වාහනයේ උෂ්ණත්වය අඩු කරලා සිසිල් පරිසරයක් සාදා දීමයි. මේ ක්ෂේත්රයේ ඉන්න අය විදියට අපි දකින දෙයක් තමයි, මේ ඔක්කොම එකට එකතු වෙලා වැඩ කරනකොට වාහනය ඇතුළත ගමන් කරන අයට බාහිර කාලගුණික වෙනස්වීම් කිසිවක් බලපාන්නේ නැහැ.
මේ පද්ධතිය පිටුපස heater core එකක්, evaporator core එකක්, ප්රබල compressor එකක්, condenser එකක්, expansion valve එකක්, blower fan එකක්, cabin air filter සහ වාහනයේ dashboard එක ඇතුළේ විහිදී යන ductwork හෙවත් වායු නාල පද්ධතියක් තියෙනවා. මේ හැම කොටසක්ම පාලනය කරන්නේ අපි දකින climate control board එක මඟිනුයි. අපිට අවශ්ය උෂ්ණත්වය මෙයට ලබා දුන් සැනින්, පද්ධතිය ස්වයංක්රීයව තීරණය කරනවා ක්රියාත්මක විය යුත්තේ කුමන කොටසද කියන කාරණය.

මෙහි ඇති ක්රියාකාරීත්වය මූලිකවම ප්රධාන තාක්ෂණික පියවර තුනක් යටතේ සිදුවෙනවා.
පළමු වැන්න තමයි වාතය සිසිල් කිරීමේ ක්රියාවලිය. වාහනය ඇතුළත රස්නය වැඩි වන විට compressor එක මඟින් refrigerant වායුව අධි පීඩනයකට ලක් කරමින් evaporator core එක වෙත එවනු ලබනවා. මෙමඟින් එම කූලින් කොයිල් එක අධික ලෙස සීතල වෙනවා. ඊටපස්සේ blower fan එක මඟින් වාහනයේ කැබින් එක ඇතුළේ තියෙන රස්න වාතය cabin air filter හරහා ඇදගෙන, මේ සීතල කොයිල් එක මතින් ගමන් කරවනවා. මෙහිදී වාතයේ ඇති රස්නය රෙෆ්රිජරන්ට් දියරයට උරාගන්නා අතර, සිසිල් වූ පිරිසිදු වාතය නාල පද්ධතිය හරහා නැවත වාහනය තුළට සපයනවා.
දෙවැනි පියවර තමයි heating හෙවත් වාහනය උණුසුම්කිරීමේ ක්රියාවලිය. වාහනයක heating එක වැඩ කරන්නේ නිවෙස්වල වගේ විදුලි පද්ධතිවලින් නෙවෙයි. එන්ජිම සිසිල් කිරීමට භාවිත කරන engine coolant එක රත් වූ පසු, එයින් කොටසක් dashboard එක ඇතුළේ තියෙන කුඩා රේඩියේටරයක් වැනි heater core එකක් හරහා ගමන් කරවනවා. අපිට රස්නය අවශ්ය වූ විට හෝ වැසි දිනවල ඉදිරිපස වීදුරුවේ මීදුම බැඳෙන විට, defroster mode එක දැමූ සැනින් බ්ලෝවර් සුළඟ මේ රත් වූ හීටර් කෝර් එක මතින් ගමන් කරවල වීදුරුව වෙත මුදා හරිනවා. එමඟින් තත්පර කිහිපයකින් වීදුරුවේ මීදුම සම්පූර්ණයෙන්ම වියළී යනවා.

තුන්වැනි පියවර වන්නේ වායු හුවමාරුව හෙවත් recirculation vs fresh air control ක්රියාවලියයි. වාහනයේ ඇති recirculation button එක මඟින් ඔබට තීරණය කරන්න පුළුවන් වාහනය ඇතුළත ඇති වාතයම නැවත නැවත භාවිතා කරනවද, එහෙමත් නැත්නම් පිටතින් පිරිසිදු වාතය ඇතුළට ගන්නවාද කියලා. දිගු ගමන් යනකොට පිටතින් fresh air ලබා ගැනීම හරහා වාහනය ඇතුළේ කාබන්ඩයොක්සයිඩ් මට්ටම ඉහළ යාම වළක්වා, රියදුරුට නිදිමත ගතිය ඇතිවීම පාලනය කරන්න මේ පද්ධතියට පුළුවන්.

නූතන වාහන වල මේ HVAC පද්ධතිවල පාලනය තවත් දියුණු වී තිබෙනවා. වර්තමානයේ එන dual-zone climate control හෝ multi-zone පද්ධති මඟින් රියදුරුට සහ ඉදිරිපස අසුනේ සිටින මගියාට තමන්ට අවශ්ය පරිදි වෙනස් උෂ්ණත්වයන් දෙකක් (විවිධ air blend doors ක්රියාකාරිත්වය හරහා) එකම වෙලාවකදී වාහනය තුළ පවත්වා ගැනීමට ඉඩ සලසනවා.
මේ නවීන තාක්ෂණය නිසා ප්රායෝගික ජීවිතයේදී අපිට ලැබෙන වාසි සහ පහසුව අතිමහත්. ප්රධානම වාසිය තමයි සෞඛ්යාරක්ෂිත වටපිටාවයි. මෙහි භාවිත වන cabin air filter එක නිසා පාරේ තියෙන අංශු මාත්ර දූවිලි වගේම අහිතකර අපද්රව්ය පෙරා ඉවත් කරනවා. දෙවැන්න නම්, hybrid සහ electric වාහනවල එන electric AC compressor තාක්ෂණය භාවිත වන නිසා, එන්ජිම ක්රියා විරහිත කර ඇති වෙලාවක වුණත් විදුලි බලයෙන් පමණක් වාහනය ඇතුළත එක දිගටම සිසිල්ව තබාගන්න මෙයට පුළුවන්.
කෙසේ වෙතත්, මෙහි ඇති අවාසි සහ පොදු දෝෂ කිහිපයක් පිළිබඳවත් අපි දැනුවත් විය යුතුයි. ප්රධානම ගැටලුව වන්නේ refrigerant leak හෙවත් ඒසී ගෑස් කාන්දු වීමයි. වාහනයක් නිරන්තරයෙන් ගැස්සීම් සහ දෝලනයන්වලට ලක්වන නිසා කාලයත් සමඟ O-rings සහ බටවල බුරුල් වීම් නිසා ගෑස් කාන්දු විය හැක. එසේම, heater core එකෙහි බ්ලොක් වීම් හෝ කාන්දුවීම් නිසා වාහනය ඇතුළට engine coolant ගලා ආ හැකි අතර, එමඟින් ඩෑෂ්බෝඩ් එක යටින් තෙත් වීම් සහ අමුතු පැණිරස ගඳක් දැනෙන්න පුළුවන්. මෙය නඩත්තු කිරීමට සම්පූර්ණ dashboard එකම ගලවන්න සිදුවන නිසා විශාල ශ්රම පිරිවැයක් වැය වෙනවා.
Motor Guide අපේ උපදෙස නම්, ඔබේ වාහනයේ ඇති cabin air filter එක නියමිත කාල පරාසයන් තුළදී, එනම් සෑම කිලෝමීටර් 10,000කට වරක් අනිවාර්යයෙන්ම පිරිසිදු කිරීම හෝ මාරු කිරීම කළ යුතු බවයි. මොකද ෆිල්ටර්වල දූවිලි තදින්ම පිරී ගියහොත් blower fan එකට වාතය ඇද ගැනීමට ලොකු වෙහෙසක් ගන්න සිදු වෙනවා. එමඟින් වාහනයේ පෙට්රල් පරිභෝජනය ඉහළ යනවා පමණක් නොව, evaporator core එක මත තෙතමනය රැඳී බැක්ටීරියා වර්ධනය වී වාහනය ඇතුළෙන් අමුතු පිළිගඳක් හැදීමේ බරපතල අවදානමක් තියෙනවා. ඒ වගේම, වැසි දිනක ගමන නිමා කිරීමට විනාඩි 2කට පෙර AC button එක පමණක් off කරල බ්ලෝවර් එක උපරිම වේගයෙන් දුවවල ඉවැපරේටරය වියළා ගන්න පුළුවන් වගේම එමඟින් බැක්ටීරියා වර්ධනය සම්පූර්ණයෙන්ම පාලනය කරගන්නත් පුළුවන්. නියමිත ප්රමිතියට අනුව ඒසී පද්ධතිය නඩත්තු කරන එකෙන් ඔබේ වාහනයෙන් දිගුකාලීන මෙන්ම උපරිම ඵලදායීතාවයක් ලබාගන්න පුළුවන්.
ඒ වගේම නවීන වාහන සහ තාක්ෂණය ගැන මෙවැනිම වටිනා තොරතුරු දැනගන්න හැමදාමත් අපේ Motor Guide එක්ක රැඳී ඉන්න කියලත් මතක් කරනව.

ලියන ලද්දේ
Nisaga Sandaru
A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.





































