වාහනයක RPM high/low fluctuate වෙන හේතු සහ විසදුම්

අද Motor guide අපි අද කතා කරන්න යන්නෙ ගොඩක් වාහන හිමියන් මුහුණ දෙන ඉතාම සුලභ වගේම ටිකක් කලබල වෙන්න පුළුවන් තාක්ෂණික ගැටළුවක් ගැනයි. ඒ තමයි වාහනය start කරලා නවත්තලා තියෙද්දී, ඒ කියන්නේ idle එකේ තියෙද්දී dashboard එකේ තියෙන RPM needle එක එක තැනක ස්ථාවරව තියෙන්නේ නැතුව high සහ low විදිහට ඉහළ පහළ යන, එහෙමත් නැත්නම් fluctuate වෙන හේතු සහ ඒවාට තියෙන නිවැරදි විසඳුම් මොනවද කියන එක.
සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයේ තියෙන වාහනයක් warm up වුණාට පස්සේ RPM එක 700 ත් 900 ත් අතර ස්ථාවර අගයක තියෙන්න ඕනේ. නමුත් මේ needle එක නිතරම උඩ පහළ යනවා නම් සහ engine එක අසාමාන්‍ය විදිහට දෙදරනවා නම්, ඒක engine system එක ඇතුළේ යම් දෝෂයක් තියෙන බවට පැහැදිලි ඉඟියක්. අද අපි බලමු ඇයි මේ විදිහට RPM fluctuate වෙන්නේ සහ අපිට ගන්න පුළුවන් විසඳුම් මොනවද කියලා.
පළවෙනිම සහ ප්‍රධානම හේතුව තමයි throttle body එක සහ Idle Air Control Valve එක අපිරිසිදු වීම. Engine එක ඇතුළට යන වාතය පාලනය කරන්නේ throttle body එක හරහායි. කාලයක් යද්දී වාතයේ තියෙන දූවිලි සහ engine එකෙන් එන තෙල් වාෂ්ප එකතු වෙලා throttle body එකේ butterfly valve එක වටේට සහ Idle Air Control Valve එක ඇතුළේ කළු පාට carbon deposits තැන්පත් වෙනවා. එතකොට engine එකට අවශ්‍ය වාතය නියමිත ප්‍රමාණයට ගලාගෙන යන්නේ නැතුව අවහිර වෙනවා. මේ නිසා engine එක නවතින්න යනවා වගේ දැනෙද්දී ECU එක මගින් එකපාරටම RPM එක වැඩි කරන්න උත්සාහ කරනවා. මේකට තියෙන හොඳම විසඳුම තමයි throttle body cleaner එකක් පාවිච්චි කරලා throttle body එක සහ Idle Air Control Valve එක හොඳින් පිරිසිදු කර ගැනීම.
දෙවෙනි කාරණය තමයි vacuum leak එකක් ඇති වීම. Engine එකේ intake manifold එකට සම්බන්ධ වෙලා තියෙන කුඩා rubber hoses පරණ වෙලා පුපුරලා හෝ බුරුල් වෙලා තිබුණොත්, ඒ හරහා මැනීමකින් තොරව අමතර වාතය engine එක ඇතුළට ඇදගන්න පටන් ගන්නවා. අන්න ඒ වෙලාවට engine එක ඇතුළේ තියෙන air fuel ratio එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා lean condition එකක් ඇති වෙනවා. මේ අසමතුලිතතාවය නිසා engine එකේ RPM එක එකපාරටම ඉහළ ගිහින් නැවත පහළ වැටෙන්න ගන්නවා. මේක විසඳගන්න නම් engine bay එකේ තියෙන සියලුම vacuum hoses හොඳින් පරීක්ෂා කරලා, ඉරිලා හෝ දිරාපත් වෙලා තියෙන hoses අලුතින් මාරු කරන්න ඕනේ.
තුන්වෙනි හේතුව තමයි Mass Air Flow Sensor හෙවත් MAF sensor එකේ දෝෂ ඇති වීම. Engine එක ඇතුළට යන වාතයේ ප්‍රමාණය හරියටම මැනලා ECU එකට දත්ත යවන්නේ මේ MAF sensor එකෙන්. යම් විදිහකින් මේ sensor එකේ දූවිලි බැඳිලා නම් හෝ sensor එක දුර්වල වෙලා නම්, ECU එකට වැරදි දත්ත ලැබිලා injector වලින් inject කරන fuel ප්‍රමාණය වැරදි විදිහට පාලනය වෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට RPM එක අස්ථාවර වෙනවා. විශේෂිත MAF sensor cleaner spray එකක් පාවිච්චි කරලා මේ sensor එක ඉතාම පරිස්සමෙන් පිරිසිදු කිරීමෙන් බොහෝ වෙලාවට මේ ගැටළුව විසඳගන්න පුළුවන්.
හතරවෙනුවට බලපාන දේ තමයි spark plugs සහ fuel injectors වල ඇතිවෙන ගැටලු. Spark plugs ගෙවිලා තියෙනවා නම් හෝ ignition coils හරියට වැඩ කරන්නේ නැත්නම්, cylinder ඇතුළේ දහනය නිසි පරිදි සිද්ධ වෙන්නේ නැතුව engine misfire වෙන්න පටන් ගන්නවා. ඒ වගේම fuel injectors අවහිර වෙලා නම් ඉන්ධන සැපයුම අක්‍රමවත් වෙලා RPM needle එක නිතරම චලනය වෙන්න ගන්නවා. මේ සඳහා නියමිත කාලයට spark plugs මාරු කිරීම සහ fuel system cleaner එකක් භාවිතා කර injectors පිරිසිදුව තබා ගැනීම ඉතාම වැදගත්.
ඊට අමතරව AC compressor එක on සහ off වෙද්දී, alternator එකේ voltage වෙනස් වෙද්දී හෝ coolant temperature sensor එක දෝෂ සහිත වුණාමත් මේ විදිහට RPM fluctuate වෙන්න පුළුවන්.
අවසාන වශයෙන් Motor guide අපේ උපදෙස තමයි, ඔයාගේ වාහනයේ RPM එක මේ විදිහට අසාමාන්‍ය ලෙස fluctuate වෙන්න පටන් ගත්තොත්, ඒක දිගටම තියෙන්න අරින්නේ නැතුව මුලින්ම air filter එක, vacuum hoses සහ throttle body එක පරීක්ෂා කරලා බලන්න. එහෙම කරලත් ගැටළුව විසඳෙන්නේ නැත්නම්, OBD2 scanner එකක් මගින් වාහනය scan කරලා නිවැරදි error code එක හඳුනාගෙන පළපුරුදු කාර්මිකයෙක් ලවා repair කරගන්න වගබලා ගන්න.
ඒ වගේම මේ වගේ නවීන වාහන ගැන සහ තාක්ෂණික තොරතුරු දැනගන්න Motor guide එක්ක එකතු වෙලා ඉන්න කියලත් මතක් කරනවා.

ලියන ලද්දේ
Nisaga Sandaru
A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.






































