Clutch slip කියන්නේ මොකද්ද?

Motor Guide අපි අද කතා කරන්න යන්නෙ මැනුවල් වාහන පදවන, ඒ වගේම බයික් පදින හැමෝටම තමන්ගේ වාහනයේ පිකප් එක එකපාරටම නැති වෙලා යනකොට මුහුණ දෙන්න සිද්ධ වෙන බරපතලම තාක්ෂණික ලෙඩක් ගැනයි. ඒ තමයි වාහනවල ඇතිවන Clutch slip හෙවත් ක්ලච් එක ලිස්සා යාමේ ප්‍රශ්නය. අපි හැමෝම දන්නවා පාරේ ඉස්සරහින් යන වාහනයක් ඕවටේක් කරන්න හරි වේගයෙන් ඉදිරියට යන්න හරි ඇක්සලේටරය පාගනකොට එන්ජිමේ සද්දය සහ ආර්පීඑම් එක ගොඩක් ඉහළ යනවා. හැබැයි එන්ජිම කොච්චර කෑ ගැහුවත් වාහනයේ වේගය ඒකට සාපේක්ෂව වැඩි වෙන්නේ නැත්නම්, අන්න ඒකට තමයි මෝටර් රථ ක්ෂේත්‍රයේදී ක්ලච් ස්ලිප් වෙනවා කියලා කියන්නේ. අද අපි මේ ලෙඩේ ඇත්තටම වෙන්නේ ඇයි, මේක හඳුනාගන්න පුළුවන් ප්‍රධානම ලක්ෂණ මොනවාද සහ මෙයින් වාහනයට වෙන හානිය මොකක්ද කියලා හරියටම තේරුම් ගමු.
සරලවම කිව්වොත්, Clutch slip වෙනවා කියන්නේ එන්ජිමෙන් නිපදවන බලය 100%ක්ම වාහනයේ ගියර් පෙට්ටියට ගලාගෙන යාම වැළැක්වීමේ යාන්ත්‍රික දෝෂයයි. සාමාන්‍යයෙන් අපි ක්ලච් පැඩලය සම්පූර්ණයෙන්ම අතහැරියාම එන්ජිමේ තියෙන flywheel එක සහ clutch plate එක එකිනෙක තදින්ම ඇලී එකම වේගයෙන් කැරකෙන්න ඕනේ. හැබැයි ක්ලච් පද්ධතියේ තියෙන යම් දෝෂයක් නිසා මේ කොටස් දෙක එකට තදින් අල්ලාගෙන සිටීමට අපොහොසත් වුවහොත්, ෆ්ලයිවීල් එක කැරකෙන වේගයට වඩා අඩු වේගයකින් තමයි ක්ලච් ප්ලේට් එක කැරකෙන්නේ. මේ ක්ෂේත්‍රයේ ඉන්න අය විදියට අපි දන්නව, එන්ජිමෙන් උපරිම torque එක හෙවත් ඇදීමේ බලය නිපදවන අවස්ථාවලදී තමයි මේ ක්ලච් එක ලිස්සා යාමේ ප්‍රවණතාවය ගොඩක්ම ඉහළ යන්නේ.

දැන් බලමු Clutch slip වීම සිදුවෙනකොට වාහනයෙන් අපිට බලාගන්න පුළුවන් ප්‍රධානම ලක්ෂණ ටිකක්
1. RPM එක ඉහළ ගියත් වේගය වැඩි නොවීම:
මේක තමයි ප්‍රධානම ලක්ෂණය. ඔබ තුන්වැනි හෝ හතරවැනි ගියර් එකේ යන ගමන් accelerator pedal එක තදින්ම පාගන විට dashboard එකේ තියෙන tachometer කටුව 3000 හෝ 4000 RPM දක්වා වේගයෙන් ඉහළ යනවා. හැබැයි වාහනයේ speedometer කටුව සෙමින් ඉහල යනව වගේම වාහනය ඉදිරියට ඇදෙන්නේ ඉතාම කම්මැලි විදිහට.

2. Burning smell (පිළිස්සුණු අමුතු ගඳක් ඒම):
ක්ලච් එක සහ ෆ්ලයිවීල් එක එකිනෙක මත ලිස්සා යන හැම තත්පරයකම විශාල ඝර්ෂණ තාපයක් නිපදවෙනවා. මේ අධික රස්නය නිසා ක්ලච් ප්ලේට් එකේ තියෙන friction material එක පිච්චෙන්න ගන්නවා. අන්න ඒ වෙලාවට වාහනයේ cabin එක ඇතුළට දරුණු පිළිස්සුණු ගන්ධයක් දැනෙන්න ගන්නවා.
3. Clutch pedal height වෙනස් වීම:
ක්ලච් ප්ලේට් එක දරුණු ලෙස ගෙවී යන විට, ක්ලච් පැඩලය සාමාන්‍ය මට්ටමට වඩා ගොඩක් උඩට එනකම්ම ක්ලච් එක අහුවෙන්නේ නැති බව රියදුරුට තදින්ම දැනෙන්න ගන්නවා.
4. කඳු බෑවුම්වලදී පිකප් එක සම්පූර්ණයෙන්ම නැති වීම:
තද කන්දක් නගින්න යනකොට එන්ජිමට ලොකු load එකක් එන නිසා ක්ලච් එක තදින්ම ලිස්සා යාමට පටන් ගන්නවා. එතකොට වාහනය කන්ද අදින්නෙ නැති ස්වභාවයක් පෙන්වනවා.
මේ ලෙඩේ ඇති වෙන්න ප්‍රධානම තාක්ෂණික හේතු කිහිපයක් බලපානවා. පළමුවැන්න තමයි සාමාන්‍ය භාවිතය නිසා කාලයත් එක්ක clutch plate සහ pressure plate ගෙවී යෑම (Worn out). දෙවැන්න තමයි නිතරම half clutch drive කිරීම නිසා ක්ලච් එක පිලිස්සී අග්‍ර සුමට වීම හෙවත් glazing තත්ත්වයට පත්වීම. තුන්වැනි සුවිශේෂී හේතුව තමයි එන්ජිමේ පිටුපස තියෙන rear main oil seal එකකින් හෝ ගියර් පෙට්ටියේ input shaft seal එකකින් ලීක් වන engine oil කෙළින්ම ක්ලච් ප්ලේට් එකේ තැවරීම (Oil contamination). තෙල් තැවරුණු සැනින් ක්ලච් එකේ තියෙන ග්‍රිප් එක සම්පූර්ණයෙන්ම නැති වී ලිස්සන්න පටන් ගන්නවා.
Motor Guide අපේ උපදෙස නම්, ඔබේ වාහනයේ හෝ බයික් එකේ මේ Clutch slip වන ලක්ෂණ සුළුවෙන් හෝ පෙන්වන්න ගත්තොත්, කිසිසේත්ම එය නොසලකා හැර දිගටම ධාවනය කරන්න එපා කියන එකයි. මොකද ක්ලච් එක ලිස්සන ගමන් දිගටම පදවන විට ඇතිවන විශාල රස්නය නිසා යකඩ flywheel එක සම්පූර්ණයෙන්ම ඇද වීමට (Warping) හෝ එහි heat spots හටගැනීමට පුළුවන්. එහෙම වුණොත් ක්ලච් ප්ලේට් එක විතරක් නෙවෙයි ෆ්ලයිවීල් එකත් සම්පූර්ණයෙන්ම අලුතින් දාන්න සිද්ධ වෙන නිසා රෙපෙයාර් වියදම තුන් හතර ගුණයකින් ඉහළ යනවා. වහාම දක්ෂ Mechanic කෙනෙකු ලවා ක්ලච් කට්ටලය (Clutch kit) පරීක්ෂා කරවාගෙන නියමිත පියවර ගැනීම ඔබේ සාක්කුවට වගේම වාහනයේ දිගුකාලීන පැවැත්මටත් අතිශය වැදගත්. ඒ වගේම නවීන වාහන සහ තාක්ෂණය ගැන මෙවැනිම වටිනා තොරතුරු දැනගන්න හැමදාමත් අපේ Motor Guide එක්ක රැඳී ඉන්න කියලත් මතක් කරනව

ලියන ලද්දේ
Nisaga Sandaru
A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.






































