Power steering fluid අඩු වුණොත් steering system එකට වෙන හානිහදුනාගනිමු

අද Motor guide අපි අද කතා කරන්න යන්නෙ වාහනයක් drive කරද්දී අපිට ඉතාම පහසුවෙන් වාහනය හසුරුවන්න උදව් වෙන, නමුත් ගොඩක් අය නඩත්තු කරන්න අමතක කරන වැදගත් පද්ධතියක් ගැනයි. ඒ තමයි hydraulic power steering system එක. විශේෂයෙන්ම මේ පද්ධතියේ තියෙන power steering fluid අඩු වුණොත්, ඔයාගේ වාහනයේ steering system එකට මොන වගේ බරපතල හානි සිද්ධ වෙන්න පුළුවන්ද කියන එක ගැන තමයි අද අපි සරලවම සහ පැහැදිලිව කතා කරන්න යන්නේ.
මුලින්ම අපි බලමු කොහොමද මේ power steering system එක වැඩ කරන්නේ කියලා. අපි steering wheel එක කරකවද්දී, ඒක ඉතාම සැහැල්ලුවෙන් සහ පහසුවෙන් හරවන්න අවශ්‍ය hydraulic pressure එක නිර්මාණය කරන්නේ power steering pump එක මගින්. මේ pump එක හරහා පද්ධතිය පුරා ගමන් කරන power steering fluid එක තමයි රෝද හැරවීමට අවශ්‍ය බලය ලබා දෙන්නේ. ඊට අමතරව, මේ fluid එක මගින් steering system එක ඇතුළේ තියෙන ලෝහ කොටස් එකිනෙක ගැටීම වළක්වන lubrication එකක් විදිහටත්, පද්ධතියේ ඇතිවෙන අධික රස්නය පාලනය කරන cooling agent එකක් විදිහටත් ක්‍රියා කරනවා. ඉතින් මේ තරම් වැදගත් කාර්යභාරයක් කරන power steering fluid එක අඩු වුණොත්, මුළු පද්ධතියටම ලොකු බලපෑමක් එල්ල වෙනවා. අපි බලමු ඒ හානි මොනවද කියලා.
පළවෙනිම සහ ප්‍රධානම හානිය තමයි power steering pump එකට හානි වීම (Pump Failure). Power steering pump එක නිර්මාණය කරලා තියෙන්නේ නිරන්තරයෙන්ම fluid එකෙන් පිරිලා වැඩ කරන්නයි. Reservoir tank එකේ fluid මට්ටම අඩු වුණාම, pump එක ඇතුළට fluid වෙනුවට වාතය (air) ඇදගන්න පටන් ගන්නවා. වාතය ඇතුළු වුණාම pump එකට නිසි lubrication එකක් නැති වෙලා, ඇතුළේ තියෙන ලෝහ කොටස් එකිනෙක තදින් ඇතිල්ලෙන්න පටන් ගන්නවා. මේ නිසා ඔයා steering wheel එක හරවද්දී අමුතු කෙඳිරි ගාන සද්දයක් (whining or groaning noise) ඇහෙන්න ගන්නවා. මේ තත්ත්වය දිගටම තිබුණොත්, pump එක අධික ලෙස රත් වෙලා සම්පූර්ණයෙන්ම කැඩිලා යන්න පුළුවන්.
දෙවෙනි බරපතල හානිය තමයි steering rack සහ pinion එක ගෙවී යාම. Power steering fluid එක අඩු වුණාම, පද්ධතිය ඇතුළේ ගමන් කරන fluid එකේ ලෝහ කුඩු එකතු වෙන්න පුළුවන්. ඒ කියන්නේ, නිසි lubrication එකක් නැතුව ගෙවෙන pump එකේ ලෝහ කැබලි fluid එකත් එක්ක ගිහින් steering rack එක ඇතුළේ තියෙන ඉතාම සියුම් කොටස් සහ seals වලට හානි කරනවා. Steering rack එකක් කියන්නේ වාහනයක තියෙන ඉතාම මිල අධික කොටසක්. Fluid අඩු වීම නිසා rack එක ඇතුළේ තියෙන O-rings සහ seals පිච්චිලා හරි කැපිල හරි ගියොත්, පද්ධතියෙන් fluid leak වෙන්න පටන් ගන්නවා වගේම, අවසානයේදී මුළු steering rack එකම replace කරන්න සිද්ධ වෙනවා.

තුන්වෙනි කාරණය තමයි steering wheel එක තද වීම සහ driving safety එකට තර්ජනයක් වීම. Fluid මට්ටම අඩු වුණාම පද්ධතියට අවශ්‍ය hydraulic pressure එක නිපදවන්න බැරි වෙනවා. එතකොට ඔයාට steering wheel එක කරකවන්න ගොඩක් අමාරු වෙනවා. විශේෂයෙන්ම වාහනය slow එකේ යද්දී හෝ park කරද්දී steering wheel එක හරවන්න ලොකු ශක්තියක් යොදන්න වෙනවා. හිතන්න ඔයා වේගයෙන් වාහනය drive කරගෙන යද්දී හදිසි අවස්ථාවක වාහනය හරවන්න වුණොත්, මේ විදිහට steering එක එකපාරටම තද වුණොත් (stiff steering), ඒක ලොකු අනතුරකට පවා අත වැනීමක් වෙන්න පුළුවන්.
හතරවෙනුවට බලපාන දේ තමයි පද්ධතිය ඇතුළේ වායු බුබුළු ඇති වීම (Aerated Fluid) සහ පෙණ දැමීම. Fluid අඩු වෙලා පද්ධතියට වාතය ඇතුළු වුණාම, fluid එකේ පෙණ දමන ස්වභාවයක් ඇති වෙනවා. මේ නිසා steering wheel එක හරවද්දී එකම විදිහට සුමටව හැරෙන්නේ නැතුව, තැනින් තැන හිර වෙන ගතියක් (jerky steering) දැනෙන්න පටන් ගන්නවා. ඒ වගේම fluid එකේ පාට කළු හෝ තද දුඹුරු පාටට හැරිලා, පිච්චුණු ගඳක් එන්නත් පුළුවන්. මේකෙන් පෙන්නුම් කරන්නේ පද්ධතිය ඇතුළේ අධික රස්නයක් නිර්මාණය වෙලා තියෙන බවයි.
පස්වෙනි කාරණය තමයි high-pressure hoses සහ rubber seals ඉක්මනින් විනාශ වීම. Power steering fluid එක අඩු වුණාම පද්ධතියේ ඇතිවෙන අධික උෂ්ණත්වය නිසා fluid ගෙනියන rubber hoses වේලිලා පුපුරන්න ඒ වගේම cracks ඇති වෙන්න පටන් ගන්නවා. ඒ වගේම සාමාන්‍යයෙන් power steering fluid එකක් කියන්නේ වාෂ්ප වෙලා යන දෙයක් නෙවෙයි. ඒ නිසා ඔයාගේ වාහනයේ fluid නිතරම අඩු වෙනවා නම්, ඒකට ප්‍රධානම හේතුව වෙන්නේ මේ වගේ දිරාපත් වුණු hose එකකින්, බුරුල් වුණු clamp එකකින් හෝ steering rack එකේ seals වලින් fluid leak වීමක්. ඒ නිසා fluid අඩු වෙන එක නොසලකා හිටියොත් පද්ධතියේ තියෙන සියලුම rubber කොටස් ඉක්මනින්ම සවුත්තු වෙලා ලොකු repair එකකට යන්න වෙනවා.

අවසාන වශයෙන් motor guide අපේ උපදෙස තමයි, අවම වශයෙන් මාසයකට වරක්වත් වාහනයේ bonnet එක ඇරලා power steering fluid reservoir එකේ fluid මට්ටම MIN සහ MAX ලකුණු අතර තියෙනවද කියලා පරීක්ෂා කරන්න පුරුදු වෙන්න. යම් විදිහකින් නිතරම fluid අඩු වෙනවා නම්, ඒක අනිවාර්යයෙන්ම කොහෙන් හරි leak එකක් තියෙන බවට ලකුණක් නිසා, ඒක නොසලකා හරින්නේ නැතුව ඉක්මනින්ම පළපුරුදු කාර්මිකයෙකුට පෙන්වලා repair කරගන්න. ඒ වගේම වාහනයේ නිෂ්පාදකයා නිර්දේශ කරලා තියෙන නිවැරදි වර්ගයේ power steering fluid එකම පමණක් පාවිච්චි කරන්නත් වගබලා ගන්න.

ඒ වගේම මේ වගේ නවීන වාහන ගැන සහ තාක්ෂණික තොරතුරු දැනගන්න Motor guide එක්ක එකතු වෙලා ඉන්න කියලත් මතක් කරනවා.

ලියන ලද්දේ
Nisaga Sandaru
A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.






































