වාහනයක fuse box එක සහ fuse blown වුණොත් troubleshoot කරන්නෙ කොහොමද?

අද motor guide අපි අද කතා කරන්න යන්නෙ වාහනයක electrical system එකේ ආරක්ෂකයා වගේ වැඩ කරන fuse box එක සහ වාහනයේ fuse එකක් blown වුණොත් ඒක හරියටම හඳුනාගෙන troubleshoot කරන විදිහ ගැනයි. ගොඩක් වෙලාවට අපි වාහනයේ head lights පත්තු වෙන්නේ නැති වුණාම, radio එක වැඩ කරන්නේ නැති වුණාම, එහෙමත් නැත්නම් power windows වැඩ කරන්නේ නැති වුණාම හිතන්නේ ලොකු repair එකක් ඇවිත් කියලා. හැබැයි ඒ ගොඩක් වෙලාවට පොඩි fuse එකක් blown වීම නිසා ඇතිවෙන ඉතාම සරල ගැටළුවක් වෙන්න පුළුවන්.
මුලින්ම අපි බලමු මොකක්ද මේ fuse එකකින් ඇත්තටම වෙන්නේ කියලා. වාහනයක තියෙන සෑම විදුලි උපාංගයකටම ඔරොත්තු දෙන නියමිත current ප්‍රමාණයක් තියෙනවා. යම්කිසි විදිහකින් short circuit එකක් නිසා හෝ overload එකක් නිසා මේ සීමාව ඉක්මවා වැඩි current එකක් ගමන් කරන්න පටන් ගත්තොත්, වාහනයේ තියෙන මිල අධික electronic components සහ wiring harness එක පිච්චිලා විනාශ වෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවට තමන් විසින්ම පිච්චිලා ගිහින් විදුලි සැපයුම විසන්ධි කරලා, අනෙක් කොටස් ආරක්ෂා කරන එක තමයි fuse එකක ප්‍රධානම රාජකාරිය.
සාමාන්‍යයෙන් නවීන වාහනයක ප්‍රධාන වශයෙන් fuse boxes දෙකක් දකින්න පුළුවන්. පළවෙනි එක තියෙන්නේ bonnet එක ඇරියාම engine bay එක ඇතුළේ. මේකෙන් තමයි engine එක, starter motor එක, cooling fans, head lights සහ ABS වගේ වැඩි බලයක් අවශ්‍ය වෙන ප්‍රධාන පද්ධති පාලනය කරන්නේ. දෙවෙනි fuse box එක තියෙන්නේ වාහනය ඇතුළේ dashboard එකට යටින් හෝ steering wheel එක අසල. මේකෙන් තමයි interior lights, audio system එක, cigarette lighter socket එක, wipers සහ power windows වගේ ඇතුළත උපාංග පාලනය වෙන්නේ.

දැන් අපි බලමු වාහනයේ යම් උපාංගයක් වැඩ කරන්නේ නැති වුණාම fuse එකක් blown වෙලාද කියලා පියවරෙන් පියවර troubleshoot කරන්නේ කොහොමද කියලා.
පළවෙනි පියවර තමයි වාහනයේ ignition එක off කරලා අදාළ fuse box එක හඳුනා ගැනීම. ඔයාගේ වාහනයේ වැඩ කරන්නේ නැති උපාංගය මොකක්ද කියලා බලලා, ඒක engine bay fuse box එකටද නැත්නම් interior fuse box එකටද අයිති වෙන්නේ කියලා තීරණය කරන්න. ඒක හරියටම දැනගන්න ඔයාට වාහනයේ owner's manual එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් fuse box එකේ පියනේ ඇතුල් පැත්තේ තියෙන diagram එක බලලා, අදාළ උපාංගයට සම්බන්ධ fuse එක තියෙන තැන සහ ඒකේ ampere rating එක හරියටම හොයාගන්න පුළුවන්.
දෙවෙනි පියවර තමයි fuse එක ගලවලා පරීක්ෂා කිරීම. Fuse box එක ඇතුළේ ගොඩක් වෙලාවට සුදු හෝ කහ පාට පොඩි plastic අඬුවක්, ඒ කියන්නේ fuse puller එකක් තියෙනවා. ඒක පාවිච්චි කරලා සැක සහිත fuse එක පරිස්සමෙන් එළියට ගන්න. දැන් fuse එක ආලෝකය තියෙන පැත්තකට අල්ලලා ඇතුළේ තියෙන U හැඩයේ ලෝහ කම්බිය දිහා හොඳින් බලන්න. ඒ ලෝහ කම්බිය මැදින් කැඩිලා තියෙනවා නම් හෝ fuse එකේ plastic ආවරණය ඇතුළතින් කළු පාට වෙලා පිච්චිලා තියෙනවා නම්, ඒ fuse එක අනිවාර්යයෙන්ම blown වෙලා. සමහර වෙලාවට ඇහැට පේන්නේ නැති තරම් සියුම් විදිහට කම්බිය කැඩිලා තියෙන්න පුළුවන් නිසා, multimeter එකක් තියෙනවා නම් continuity mode එකට දාලා fuse එකේ දෙපැත්ත check කරලා ස්ථිර කරගන්න පුළුවන්.

තුන්වෙනි පියවර තමයි නිවැරදි fuse එකක් මාරු කිරීම සහ නැවත පරීක්ෂා කිරීම. Blown වුණු fuse එක වෙනුවට අලුත් fuse එකක් දාද්දී, කලින් තිබුණු fuse එකේ තිබුණු ampere අගයටම සමාන fuse එකක් පමණක් පාවිච්චි කරන්න ඕනේ. උදාහරණයක් විදිහට 10A fuse එකක් තිබුණු තැනට 10A fuse එකක්ම දාන්න. අලුත් fuse එක දාලා වාහනය start කරලා, කලින් වැඩ නොකරපු උපාංගය දැන් හොඳට වැඩ කරනවද කියලා බලන්න. ඒ උපාංගය වැඩ කරනවා නම් ඔයාගේ ගැටළුව එතැනින්ම විසඳිලා. හැබැයි අලුත් fuse එක දාපු ගමන් ඒකත් ආයෙත් blown වෙනවා නම්, ඒකෙන් අදහස් වෙන්නේ වාහනයේ wiring system එකේ කොහේ හරි short circuit එකක් හෝ උපාංගයේ බරපතල දෝෂයක් තියෙන බවයි. එහෙම වුණොත් තවදුරටත් fuse මාරු කරන්නේ නැතුව වාහනය auto electrician කෙනෙක් ලවා පරීක්ෂා කරගන්න ඕනේ.

අවසාන වශයෙන් motor guide අපේ උපදෙස තමයි, කිසිම වෙලාවක blown වුණු fuse එකක් වෙනුවට වැඩි ampere අගයක් තියෙන fuse එකක් දාන්නවත්, fuse එක වටේට තඹ කම්බියක් ඔතලා තාවකාලිකව පාවිච්චි කරන්නවත් යන්න එපා. ඒ වගේ දෙයක් කළොත් overload එකකදී fuse එක පිච්චෙන්නේ නැතුව වාහනයේ මුළු wiring system එකම ගිනි අරගෙන විශාල අනතුරක් වෙන්න පුළුවන්. ඒ නිසා හැමවෙලේම වාහනයේ glove box එක ඇතුළේ විවිධ ampere අගයන්ගෙන් යුත් spare fuses කිහිපයක් තියාගන්න අමතක කරන්න එපා.
ඒ වගේම මේ වගේ නවීන වාහන ගැන සහ තාක්ෂණික තොරතුරු දැනගන්න Motor guide එක්ක එකතු වෙලා ඉන්න කියලත් මතක් කරනවා.

ලියන ලද්දේ
Nisaga Sandaru
A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.






































