වාහනයක Exit Warning System එක ඉගෙනගමු.

Motor Guide අපි අද කතා කරන්න යන්නෙ වාහනයකින් බහිනකොට අපි හැමෝම නොදැනුවත්වම කරන, ඒ වගේම මාරාන්තික අනතුරුවලට පාර කපන බරපතලම වැරැද්දක් වළක්වන්න නවීන වාහනවල එන සුපිරි Safety Feature එකක් ගැනයි. ඒ තමයි Exit Warning System තාක්ෂණය. අපි හැමෝම දන්නවා දිනපතා වාහන පදවලා, ගමනාන්තයට ආවට පස්සේ පාර අයිනේ වාහනය නතර කරලා දොර අරින්න අපි හැමෝම පුරුදු වෙලා ඉන්නවා. හැබැයි පිටුපසින් එන වාහන, ත්‍රීවීල් හෝ බයිසිකල් ගැන හරියටම බලන්නේ නැතුව එකපාරටම දොර ඇරියොත් සිද්ධ වෙන්නේ හිතාගන්නවත් බැරි තරම් ලොකු විනාශයක්. මෝටර් රථ ක්ෂේත්‍රයේදී මේ වගේ අනතුරුවලට කියන්නේ "Dooring" කියලා. අන්න ඒ බරපතල අනතුරු 100%ක්ම වළක්වන්න නවීන වාහන නිෂ්පාදකයෝ හඳුන්වා දීලා තියෙන මේ Exit Warning තාක්ෂණය වැඩ කරන්නේ කොහොමද, මෙහි තියෙන සැබෑ ප්‍රයෝජන මොනවාද කියලා අද අපි තාක්ෂණිකව හරියටම තේරුම් ගමු.
සරලවම කිව්වොත්, Exit Warning System එක කියන්නේ වාහනයක් නතර කරලා එහි ඉන්න මගීන් හෝ රියදුරු දොර ඇරලා පිටතට යන්න හදනකොට, පිටුපසින් වෙනත් වාහනයක් හෝ පදිකයෙක් වේගයෙන් ළඟා වෙනවා නම් එය හඳුනාගෙන දොර ඇරීම වළක්වන්න ශබ්ද සහ ආලෝක සංඥා මඟින් අනතුරු අඟවන ඉලෙක්ට්‍රොනික ආරක්ෂණ පද්ධතියක්. සමහර නවීනතම වාහනවල මේක "Safe Exit Assist" (SEA) විදිහටත් හඳුන්වනවා. මේ ක්ෂේත්‍රයේ ඉන්න අය විදියට අපි දකින විදියට, අතීතයේ ආපු සාමාන්‍ය Blind Spot Monitoring පද්ධතිය තවත් ඉදිරියට අරගෙන, වාහනය නතර කරලා Engine Off කරල තියෙන වෙලාවක වුණත් මගීන්ගේ ආරක්ෂාව උපරිමයෙන්ම තහවුරු කරන්න එකතු කරපු අතිශය විශිෂ්ට කඩඉමක් විදිහට මේ තාක්ෂණය හඳුන්වන්න පුළුවන්.

මේ පද්ධතිය පිටුපස විවිධ සංකීර්ණ සෙන්සර් සහ පරිගණක පාලක ඒකක (ECU) එකතුවක් එක දිගට වැඩ කරනවා. අපි වාහනය නතර කළාට පස්සේ, මේ සම්පූර්ණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ඉතාම වේගවත් පියවර කිහිපයකින්. මුලින්ම වාහනයේ පිටුපස බම්පරයේ (Rear Bumper) දෙපැත්තේ සවි කරලා තියෙන කෙටි දුර රේඩාර් සෙන්සර් (Short-range Radar Sensors) සහ කැමරා පද්ධතිය මඟින් වාහනයට පිටුපසින් මීටර් 20ත් 50ත් අතර සීමාවේ එන සියලුම චලනය වන වස්තූන් නිරන්තරයෙන් ස්කෑන් (Scan) කරනු ලබනවා.
අපි වාහනය නතර කරලා, එන්ජිම ක්‍රියා විරහිත කරලා (සමහර වාහනවල එන්ජිම ඕෆ් කරලා විනාඩි කිහිපයක් යනතුරුත් මේ පද්ධතිය Active වෙලා තියෙනවා) දොර අරින්න හැඬල් එක අල්ලනකොට, පිටුපසින් වාහනයක් එනවා නම් පද්ධතිය ක්ෂණිකව ක්‍රියාත්මක වෙනවා. මුලින්ම වාහනයේ Side Mirror එකේ තියෙන බ්ලයින්ඩ් ස්පොට් වෝනින් ලයිට් එක රතු හෝ තැඹිලි පාටින් Blink වෙන්න පටන් ගන්නවා. ඊට අමතරව වාහනය ඇතුළෙන් Beep ශබ්දයක් මඟින් රියදුරුව සහ මගීන්ව දැනුවත් කරනවා.
මෙතැනදී Audi, Hyundai සහ Kia වැනි නවීනතම වාහනවල එන Safe Exit Assist (SEA) පද්ධතිය මීට වඩා පියවරක් ඉදිරියට ගිහින් ක්‍රියාත්මක වෙනවා. පිටුපසින් වාහනයක් එන වෙලාවක දොරේ ඇතුළත හැඬල් එක ඇද්දත්, වාහනයේ තියෙන ඉලෙක්ට්‍රොනික චයිල්ඩ් ලොක් (Electronic Child Lock) පද්ධතියත් එක්ක මේක auto සම්බන්ධ වෙලා, දොර විවෘත වීම සම්පූර්ණයෙන්ම Lock කරලා දමනවා. පිටුපසින් එන වාහනය පසුවී යනතුරුම දොර ඇරීමට නොහැකි වන පරිදි මේ ඉලෙක්ට්‍රොනික පද්ධතිය මඟින් දොර සිරකර තබාගන්නවා. මේක විශේෂයෙන්ම වාහනයේ පිටුපස ආසනවල ඉන්න කුඩා ළමයින් නොදැනුවත්කම නිසා එකපාරටම දොර ඇරීමෙන් සිදුවන මාරාන්තික අනතුරු සම්පූර්ණයෙන්ම වළක්වන්න ලැබුණු ලොකුම සහනයක්.
මේ නවීන තාක්ෂණය නිසා අපිට ප්‍රායෝගික ජීවිතයේදී ලැබෙන වාසි සහ පහසුව අතිමහත්. නිතරම කාර්යබහුල නගරබද පාරවල් අයිනේ වාහනය නවත්වන විට, රියදුරුගේ හෝ මගීන්ගේ අවධානය වෙනත් අතකට ගිය මොහොතක වුණත් වාහනය ස්වයංක්‍රීයව ආරක්ෂාව සපයනවා. මෝටර් සයිකල් සහ පාපැදි කරුවන් බොහෝ වෙලාවට පාර අයිනේ නවතා ඇති වාහන ළඟින්ම ධාවනය කරන නිසා, මේ පද්ධතිය ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමටත් ලොකු උදව්වක් වෙනවා.
Motor Guide අපේ උපදෙස නම්, ඔබේ වාහනයේ Exit Warning System හෝ Safe Exit Assist පහසුකම තිබුණත්, වාහනයෙන් බැසීමට පෙර නිරන්තරයෙන්ම Side Mirrors පරීක්ෂා කිරීමේ සාම්ප්‍රදායික හොඳ පුරුද්ද අතහැර නොදැමිය යුතු බවයි. මොකද අධික ලෙස වැසි සහිත කාලගුණයකදී හෝ සෙන්සර් මත මඩ සහ දූවිලි තදින් බැඳී ඇති අවස්ථාවලදී මෙම රේඩාර් සෙන්සර්වල සංවේදීතාවය තරමක් අඩු විය හැක. එබැවින් නිරන්තරයෙන් වාහනයේ පසුපස බම්පරය පිරිසිදුව තබා ගැනීම සහ තාක්ෂණය මතම 100%ක් යැපෙන්නේ නැතිව තමන්ගේ අවධානයද යොමු කිරීම රිය පැදවීමේ සහ වාහනයෙන් බැසීමේ ආරක්ෂාව උපරිමයෙන්ම තහවුරු කිරීමට අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා.
ඒ වගේම නවීන වාහන සහ තාක්ෂණය ගැන මෙවැනිම වටිනා තොරතුරු දැනගන්න හැමදාමත් අපේ Motor Guide එක්ක රැඳී ඉන්න කියලත් මතක් කරනව.

ලියන ලද්දේ
Nisaga Sandaru
A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.





































