Engine oil flush කරන්න ඕනෙද?

Motor Guide අපි අද කතා කරන්න යන්නෙ වාහනයක Engine Oil Flush කරන එක ඇත්තටම අවශ්‍යම වැඩක්ද කියන කාරණාව ගැනයි. ගොඩක් අය වාහන සර්විස් කරන තැන්වලට ගියාම ඔයිල් මාරු කරන අතරතුර "Engine Oil Flush එකක් කරන්න ඕනෙ" කියන යෝජනාවට මුහුණ දීලා ඇති. සමහරු මේක හරිම වැදගත් දෙයක් විදිහට සලකලා කරන අතර තවත් සමහරු මේක සල්ලි නාස්ති කරන වැඩක් විදිහට හිතනවා. ඒ නිසා අපි අද බලමු මේකේ ඇත්ත නැත්ත මොකක්ද කියලා තාක්ෂණික පැත්තත් එක්කම හරියටම මේකේන් මොකද්ද වෙන්නෙ කියන එක ගැන.
එන්ජිමක් අපිරිසිදු වන්නේ ඇයි? (Sludge)
මුලින්ම අපි තේරුම් ගන්න ඕනෙ එන්ජින් ඔක්කොම කාලයත් එක්ක අපිරිසිදු වෙනවා කියන එක. එන්ජිමක් ඇතුළේ පිච්චෙන ඉන්ධන, දැලි, කාබන් අපද්‍රව්‍ය සහ තෙල්වල තියෙන විවිධ රසායනික ද්‍රව්‍ය කාලයත් එක්ක එකතු වෙලා එන්ජිමේ ඇතුළෙ තැන්පත් වෙනවා. මේවට අපි කියන්නේ 'Sludge' එහෙමත් නැත්නම් මඩ වගේ තැන්පත් වීම් කියලා. සාමාන්‍යයෙන් එන්ජින් ඔයිල් මාරු කරද්දී පරණ තෙල් ටික එළියට ගියාට, මේ විදිහට ඇතුළේ බිත්තිවල සහ කොටස්වල ඇලිල තියෙන අපද්‍රව්‍ය සියයට සියයක්ම අයින් වෙන්නේ නැහැ. මේක හරියට හරියට අපේ ඇඳුම්වල තියෙන තද පැල්ලම් සාමාන්‍ය සබන් වලින් විතරක් හෝදලා යවාගන්න බැරි වෙලා වෙනම පිරිසිදුකාරකයක් දාන්න වෙනවා වගේ වැඩක්.
Engine Flush එකක් කරන්නේ කොහොමද?
මේ ක්ෂේත්‍රයේ ඉන්න අය විදියට අපි දකින දෙයක් තමයි එන්ජින් Flush කරනවා කියන්නේ පරණ ඔයිල් ටික අයින් කරන්න කලින් විශේෂ රසායනික ද්‍රව්‍යයක් (Flush additive) එන්ජිමට දාලා විනාඩි 10ක් හෝ 15ක් එන්ජිම Idling එකේ ක්‍රියාත්මක කරවන එක. මේ රසායනික ද්‍රව්‍ය මගින් එන්ජින් එක ඇතුළේ තියෙන තදවුණු අපද්‍රව්‍ය දිය කරලා, ඊළඟට අලුත් oil දාන්න කලින් පරණ oil එක්කම ඒ සියලුම කුණු අපද්‍රව්‍ය එළියට දාන්න ලොකු උදව්වක් කරනවා.
අනවශ්‍ය ලෙස Flush කිරීමේ අවාසි
හැබැයි, හැම වාහනයකටම මේක කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. වාහනේ නිෂ්පාදකයා නිර්දේශ කරපු විදිහට නියමිත කාලයට හරියට ඔයිල් මාරු කරපු, කිසිම අවස්ථාවක එන්ජිම අධික ලෙස රත් වෙලා නැති හොඳ තත්ත්වයේ වාහනයකට නිතර නිතර එන්ජින් ෆ්ලෂ් කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම, සැතපුම් ලක්ෂ ගණනක් දුවපු, කිසිම නඩුවක් නොමැතිව අවුරුදු ගණනක් තිස්සේ ඔයිල් මාරු කරපු නැති පරණ වාහනවල හදිස්සියේ Engine Oil Flush එකක් කළොත් ඒකෙන් වෙන්නෙ ප්‍රතිඵලයට වඩා වෙන්නේ ලොකු හානියක්. මොකද ඒ වගේ වාහනවල ඇතුළේ ලොකු කුණු තට්ටු තියෙනවා, ඒවත් එක්කම එන්ජිමේ තියෙන සීල් සහ ගැස්කට් පවා දුර්වල වෙලා තියෙන්න පුළුවන්. Flush කළාම ඒ කුණු ටික ඔක්කොම එකපාර ගැලවිලා ඇවිත් කුඩා oil මාර්ග (Oil passages) අවහිර කරලා එන්ජිමට oil යෑම නතර වෙලා එන්ජිම Seize වෙන්න වුණත් පුළුවන්.
Engine Flush එකක් ඇත්තටම අවශ්‍ය වන්නේ කවදාද?
එහෙනම් මේක ඇයි කරන්න ඕනෙ? ඔබ වාහනයක් පාවිච්චි කරන අතරතුර දකිනවා නම් නියමිත කාලයට කලින් ඔයිල් කළු වෙනවා, එන්ජිමෙන් අසාමාන්‍ය ශබ්ද එනවා, එහෙමත් නැත්නම් වෙනත් කෙනෙක්ගෙන් පාවිච්චි කළ වාහනයක් අරන් ඒකේ Service history ගැන කිසිම විශ්වාසයක් නැත්නම්, වෘත්තිකයෙකුගේ උපදෙස් මත වරක් Engine oil flush එකක් කිරීමෙන් එන්ජිමේ ආයු කාලය වැඩි කරගන්න පුළුවන්. හැබැයි මතක තබාගන්න ඕනෙ සෑම ඔයිල් මාරු කිරීමකදීම මේක කිරීම නම් කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. මොකද එන්ජින් ඔයිල් වලම තියෙන Detergents & Dispersants කියන රසායනික මූලද්‍රව්‍ය මගිනුත් සාමාන්‍ය පිරිසිදු කිරීමේ කාර්යය දිනපතාම සිද්ධ වෙනවා.
Motor Guide අපේ උපදෙස
අවසාන වශයෙන් Motor Guide අපේ උපදෙස තමයි, ඔබේ වාහනය නියමිත ප්‍රමිතියෙන් යුතු එන්ජින් ඔයිල් දාලා නියමිත කිලෝමීටර් ගණනට හෝ කාල සීමාවට හරියටම සර්විස් කරනවා නම්, Engine flush කිරීම ගැන වැඩිපුර කනස්සලු වෙන්න අවශ්‍ය නැහැ. හැබැයි වාහනේ එන්ජිම ඇතුළේ අපද්‍රව්‍ය අධික ලෙස තැන්පත් වෙලා තියෙන බවක් පේනවා නම්, සුදුසුකම් ලත් කාර්මිකයෙකුගේ පරීක්ෂාවෙන් පසුව පමණක්, හොඳම තත්ත්වයේ Engine oil flush කිරීමේ ද්‍රව්‍යයක් පාවිච්චි කරලා මේක කරගන්න එක නුවණට හුරුයි. අනවශ්‍ය විදිහට හැම සර්විස් එකකදීම මේවා කරලා ඔබේ මුදල් නාස්ති කරගන්න එපා වගේම එන්ජිමට අනවශ්‍ය අවදානම් ඇති කරගන්නත් එපා. ඒ වගේම නවීන වාහන සහ තාක්ෂණය ගැන මෙවැනිම වටිනා තොරතුරු දැනගන්න හැමදාමත් අපේ Motor Guide එක්ක රැඳී ඉන්න කියලත් මතක් කරනව.

ලියන ලද්දේ
Nisaga Sandaru
A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.
































