Tyre Retreading කියන්නෙ මොකද්ද?
Motor Guide අපි අද කතා කරන්න යන්නෙ වාහන නඩත්තුවේදී අපිට නිතරම මුහුණ දෙන්න සිද්ධ වෙන ලොකුම වියදමක් වෙන, ඒ වගේම අපේ ආරක්ෂාවට කෙලින්ම බලපාන Tyres සම්බන්ධ ඉතාම වැදගත් ආර්ථිකමය සහ තාක්ෂණික මාතෘකාවක් ගැනයි. ඒ තමයි "Tyre Retreading" තාක්ෂණය. අපි හැමෝම දන්නවා දිනපතා වාහන පදවනකොට කාලයත් එක්ක ටයර්වල තියෙන ග්‍රිප් එ. නැති වෙනව ඒ කියන්නෙ ගෙවිලා යන එක සාමාන්‍ය දෙයක්. ටයර් එකක් සම්පූර්ණයෙන්ම ගෙවිලා ගියාම අලුත් ටයර් එකක් මිලදී ගන්න එක සෑහෙන්න වියදම් අධික වැඩක්. අන්න ඒ වගේ අවස්ථාවකදී සාක්කුවට වගේම පරිසරයටත් ලොකු සහනයක් දෙන, ලංකාවේ බර වාහන ක්ෂේත්‍රයේ බහුලවම භාවිත වෙන සුපිරි විසඳුමක් විදිහට මේ ටයර් රීට්‍රෙඩින් හඳුන්වන්න පුළුවන්. අද අපි බලමු මේ තාක්ෂණය ඇත්තටම ක්‍රියා කරන්නේ කොහොමද, මෙහි තියෙන ප්‍රධාන ක්‍රම මොනවාද සහ මෙයින් අපිට ලැබෙන සැබෑ ප්‍රයෝජන මොනවාද කියලා.
සරලවම කිව්වොත්, ටයර් රීට්‍රෙඩින් (Retreading, Recapping හෝ Remoulding ලෙසද හඳුන්වයි) කියන්නේ පාවිච්චි කරන ලද ටයර් එකක ගෙවී ගිය බාහිර රබර් තට්ටුව (Tread) පමණක් ඉවත් කර, ඒ වෙනුවට සම්පූර්ණයෙන්ම අලුත් රබර් තට්ටුවක් විද්‍යාත්මකව බන්ධනය (Bonding) කිරීමේ ක්‍රියාවලියයි. මෙතැනදී ටයර් එකක ප්‍රධානම සහ ශක්තිමත් ව්‍යුහය වන කේසින් (Casing / Carcass) එක නැවතත් ප්‍රයෝජනයට ගනු ලබනවා. මේ ක්ෂේත්‍රයේ ඉන්න අය විදියට අපි දකින විදියට, ටයර් එකක මුළු පිරිවැයෙන් 70%කට වඩා වැය වෙන්නේ එහි ඇතුළත ඇති ශක්තිමත් කේසින් එක නිපදවීමටයි. ඒ නිසා හානියක් නොවූ හොඳ තත්ත්වයේ කේසින් එකක් විසි නොකර, ඊට අලුත් ආයු කාලයක් ලබා දීම ඉතාම බුද්ධිමත් මෙන්ම ලාභදායී පියවරක්.
මේ රීට්‍රෙඩින් ක්‍රියාවලිය පිටුපස ඉතාම සූක්ෂම තාක්ෂණික පියවර කිහිපයක් තියෙනවා. මුලින්ම ලැබ් එකකදී ටයර් කේසින් එකේ ඇතුළත සහ පිටත (NDT - Non-Destructive Testing) වැනි උසස් ක්‍රමවේද හරහා පරීක්ෂා කරලා එහි ශක්තිමත්භාවය 100%ක් තහවුරු කරගන්නවා. ඉන්පසු "Buffing" කියන පියවරෙන් පැරණි ටයරයේ ඉතිරි වී ඇති ගෙවුණු රබර් කොටස් යාන්ත්‍රිකව සම්පූර්ණයෙන්ම සූරා ඉවත් කර ටයරය ඒකාකාරී මතුපිටකට සකස් කරගන්නවා. ඊටපස්සේ තමයි අලුත් රබර් තට්ටුව මීට සම්බන්ධ කරන්නේ.
මෝටර් රථ ඉංජිනේරු විද්‍යාවට අනුව මේ අලුත් රබර් තට්ටුව සම්බන්ධ කරන ප්‍රධාන තාක්ෂණික ක්‍රමවේද 2ක් තියෙනවා
Pre-Cure (Cold-Cure) ක්‍රමය:
මෙහිදී ටයර් එකට අලවන්නේ කර්මාන්තශාලාවේදීම කලින්ම නිපදවන ලද, ටයර් නූල් (Tread Pattern) සහිතවම වාත්තු කර පදම් කළ රබර් පටියක්. මෙය කේසින් එක වටා ඔතා "Cushion Gum" නැමැති විශේෂ රබර් මැලියම් තට්ටුවක් ආධාරයෙන් Curing Chamber එකක් ඇතුළේ පීඩනය සහ රත් කිරීම (100°C - 120°C) මඟින් ශක්තිමත්ව බන්ධනය කරනු ලබනවා.
Mold Cure (Hot-Cure) ක්‍රමය:
මෙහිදී ටයර් කේසින් එක වටා ඔතන්නේ කිසිදු හැඩයක් නැති අමු රබර් තට්ටුවක්. ඉන්පසු ටයරය විශාල ලෝහමය අච්චුවකට (Rigid Mold) දමා අධික උෂ්ණත්වයක් (150°C - 160°C) සහ ඉහළ පීඩනයක් යටතේ තම්බා පදම් කරනු ලබනවා. මේ ක්‍රමයේදී අලුත් ටයර් එකක් හැදෙනවා වගේම නිමාවක් සහ ශක්තිමත් බන්ධනයක් ලැබෙනවා.
නමුත් මෙහිදී බොහෝ දෙනෙක් අසන ප්‍රශ්නයක් තමයි, එකම ටයර් කේසින් එකක් කී පාරක් රීට්‍රෙඩ් කරන්න පුළුවන්ද කියන එක. සාමාන්‍යයෙන් උසස් තත්ත්වයේ ටයර් කේසින් එකක් නිසි ලෙස නඩත්තු කර ඇත්නම්, එය 1 වතාවක් පමණක් නොව 2 සිට 3 වතාවක් දක්වා වුවද රීට්‍රෙඩ් කිරීමට හැකියාව පවතිනවා. ලෝකයේ ඉහළම ආරක්ෂිත ප්‍රමිතීන් පවතින ගුවන් යානා (Aviation Industry) වල භාවිත කරන ටයර් පවා ඔවුන්ගේ දැඩි පරීක්ෂණ මාලාවන්ට යටත්ව 12 වතාවක් දක්වා රීට්‍රෙඩ් කර නැවත භාවිත කරනු ලබනවා. මෙයින්ම පැහැදිලි වෙනවා නිසි ප්‍රමිතියට කරන රීට්‍රෙඩින් තාක්ෂණය කොයිතරම් දුරට විශ්වාසවන්තද කියන එක.
මේ නවීන තාක්ෂණය නිසා ප්‍රායෝගිකව ලැබෙන වාසි අතිමහත්. ප්‍රධානම වාසිය තමයි පිරිවැය. රීට්‍රෙඩ් කළ ටයර් එකක් අලුත් ටයර් එකක මිලෙන් 40% - 50%ක් වැනි අඩකට වඩා අඩු මුදලකට සකස් කරගත හැකි අතර, එයින් අලුත් ටයර් එකකින් ලැබෙන ධාවන කාලයෙන් 50% - 90%ක් දක්වාම උපරිම ආයු කාලයක් ලබාගන්න පුළුවන්. ඒ වගේම පරිසරය පැත්තෙන් බැලුවොත්, අලුත් ටයර් එකක් නිපදවීමට බොරතෙල් ගැලුම් 22ක් පමණ වැය වන විට රීට්‍රෙඩ් ටයර් එකකට වැය වෙන්නේ ගැලුම් 7ක් වැනි සුළු ප්‍රමාණයක්. එමඟින් කාබන් විමෝචනය (CO2 Emissions) සහ පරිසරයට බැහැර කරන ටයර් අපද්‍රව්‍ය විශාල වශයෙන් අඩු වෙනවා.
කෙසේ වෙතත්, රීට්‍රෙඩ් ටයර්වල සාර්ථකත්වය සහ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ රියදුරාගේ දෛනික නඩත්තු පුරුදු මතයි. වාහනයේ ටයර් ප්‍රෙෂර් (Tyre Pressure) එක නියමිත මට්ටමට වඩා අඩු වුවහොත්, ධාවනයේදී ටයරය අධික ලෙස රත් වීමට (Overheating) පටන් ගන්නවා. මෙම අධික උෂ්ණත්වය නිසා අලුතින් සම්බන්ධ කළ රබර් තට්ටුව සහ පැරණි කේසින් එක අතර ඇති බන්ධනය ලිහිල් වී, ටයර් පටිය ගැලවී වෙන් වීමේ (Tread Separation) බරපතල අවදානමක් මතු විය හැක. මහා මාර්ගවල අපිට නිතරම දකින්න ලැබෙන කැඩී ගිය ටයර් කැබලිවලින් බහුතරයක් මෙලෙස වැරදි වායු පීඩනය නිසා හෝ දුර්වල ප්‍රමිතියේ රසායනාගාරවලින් කළ රීට්‍රෙඩින් පද්ධතිවල දෝෂ නිසා සිදුවන ඒවායි.
Motor Guide අපේ උපදෙස නම්, ඔබ ඔබේ වාහනයට (විශේෂයෙන්ම බර වාහන හෝ වාණිජ වාහන සඳහා) රීට්‍රෙඩ් ටයර් භාවිත කරන්නේ නම්, සැමවිටම SLS හෝ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිසි රසායනාගාර පරීක්ෂාවන් සිදු කරන පිළිගත් ආයතනයකින්ම එය සිදු කරගත යුතු බවයි. එමෙන්ම සාමාන්‍ය කුඩා මෝටර් රථ (Passenger Cars) සඳහා රීට්‍රෙඩ් ටයර් භාවිතය එතරම් ප්‍රායෝගික නොවන අතර, අධික වේගයෙන් ධාවනය වන ඉදිරි රෝද (Steer Axle) සඳහා රීට්‍රෙඩ් ටයර් යෙදීමෙන් වැළකී සිටීම ආරක්ෂාව අතින් ඉතාම වැදගත්. නිරන්තරයෙන් ටයර් ප්‍රෙෂර් එක නිවැරදිව පවත්වා ගැනීමෙන් රීට්‍රෙඩ් ටයරයකින් උපරිම සහ ආරක්ෂිත ධාවන කාලයක් ලබාගන්න පුළුවන්. ඒ වගේම නවීන වාහන සහ තාක්ෂණය ගැන මෙවැනිම වටිනා තොරතුරු දැනගන්න හැමදාමත් අපේ Motor Guide එක්ක රැඳී ඉන්න කියලත් මතක් කරනව.

ලියන ලද්දේ
Nisaga Sandaru
A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.


































