AEB (Automatic Emergency Braking) ගැන ඉගෙනගමු
මෝටර් රථ ගැන උනන්දු වෙන ඔයාට අද Motor Guide අපි පැහැදිලි කරලා දෙන්න යන්නේ නූතන වාහනවල තියෙන ඉතාමත් වැදගත් ආරක්ෂක පද්ධතියක් වෙන AEB (Automatic Emergency Braking) පද්ධතිය ගැන. සරලවම කිව්වොත්, මේක රියදුරාටත් වඩා වේගයෙන් වාහනයක තිරිංග ක්රියාත්මක කරලා අනතුරක් වළක්වන්න හෝ අනතුරේ බරපතලකම අඩු කරන්න හදපු පද්ධතියක්. වාහනයක එන්ජිම හෝ ගියර් පද්ධතිය ගැන විතරක් නෙවෙයි, මෙන්න මේ වගේ තාක්ෂණික දේවල් ගැනත් ඔයාට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ.
මොකක්ද මේ AEB කියන්නේ?
AEB කියන්නේ Automatic Emergency Braking කියන එකේ කෙටි නමයි. සාමාන්යයෙන් අපි පාරේ යද්දී ඉස්සරහින් යන වාහනයක් එකපාරටම නැවැත්තුවොත් හෝ පාරට කෙනෙක් පැන්නොත් අපේ ඇස ඒක හඳුනාගෙන මොළයට පණිවිඩයක් යවලා කකුලෙන් බ්රේක් එක පාගන්න යම් කාලයක් ගත වෙනවා. ඒත් මේ AEB පද්ධතියට පුළුවන් රියදුරාටත් වඩා වේගයෙන් තීරණයක් අරගෙන වාහනයේ තිරිංග ක්රියාත්මක කරන්න. මෙතැනදී වැදගත්ම දේ තමයි වාහනයේ වේගය පාලනය කරන්න රියදුරාගේ මැදිහත්වීමක් නැතුවම මේ පද්ධතියට හැකියාව තිබීම.
මේ පද්ධතිය වැඩ කරන්නේ කොහොමද?
මේ පද්ධතිය ප්රධාන වශයෙන් කොටස් තුනක එකතුවක් විදිහටයි වැඩ කරන්නේ. ඒ කියන්නේ සංවේදක (Sensors), පාලන ඒකකය (Control Unit) සහ Actuators.
-
සංවේදක (Sensors): වාහනයේ ඉදිරිපස ග්රිල් එකේ හෝ වින්ඩ්ස්ක්රීන් එකේ ඉහළ කොටසේ රේඩාර් (Radar), LiDAR හෝ කැමරා පද්ධතියක් සවි කරලා තියෙනවා. මේවායින් දිගටම වාහනයට ඉදිරියෙන් තියෙන පාර පරිලෝකනය (Scan) කරනවා. ඉදිරියෙන් තියෙන බාධකයක දුර සහ ඒ බාධකය වාහනය දෙසට එන වේගය මේවායින් මනිනවා.
- පාලන ඒකකය (ECU): සංවේදක වලින් ලැබෙන දත්ත ඉතා වේගයෙන් පරිගණක ඒකකයක් මගින් විශ්ලේෂණය කරනවා. ඉදිරියෙන් තියෙන වාහනයත් එක්ක හැප්පෙන්න තියෙන ඉඩකඩ මේකෙන් ගණනය කරනවා.
- Actuators: අනතුරක් වෙන්න යනවා කියලා පද්ධතිය හඳුනා ගත්තොත්, මුලින්ම රියදුරාට ශබ්දයක් මගින් හෝ ඩෑෂ්බෝඩ් එකේ පණිවිඩයක් මගින් අනතුරු අඟවනවා. රියදුරා ඒකට ප්රතිචාර නොදැක්වුවොත්, පද්ධතිය විසින්ම වාහනයේ ABS (Anti-lock Braking System) එක හරහා උපරිම තිරිංග බලයක් යොදලා වාහනය නතර කරනවා.
AEB පද්ධතියේ ප්රධාන අවධීන්
ඕනෑම වාහනයක AEB පද්ධතියක් වැඩ කරන්නේ පියවර කිහිපයකටයි:
- අවධානය යොමු කිරීම (Monitoring): ඒ කියන්නෙ පාරේ තත්ත්වය ගැන දිගටම අවධානයෙන් ඉන්නවා.
- අනතුරු ඇඟවීම (Warning): යම් බාධකයක් ළඟ එනවා නම් රියදුරාට 'බීප්' හඬක් මගින් දැනුම් දෙනවා.
- බ්රේක් සූදානම් කිරීම (Braking Support): මෙතැනදී රියදුරා බ්රේක් එක උඩ කකුල තිබ්බ ගමන්ම උපරිම බලයක් ලැබෙන විදිහට හයිඩ්රොලික් පීඩනය වැඩි කරලා තියනවා.
- ස්වයංක්රීයව නැවැත්වීම (Autonomous Braking): රියදුරා කිසිම දෙයක් කළේ නැත්නම්, හැප්පෙන්න ඔන්න මෙන්න තියෙද්දී වාහනය විසින්ම බ්රේක් තද කරනවා. මේකෙන් වෙන්නේ අනතුර සම්පූර්ණයෙන්ම වැළකීම හෝ අඩුම තරමේ සිදුවෙන හානිය අවම කිරීමයි.
ඒ වගේම AEB වර්ග කිහිපයක් තියෙනවා
හැම වාහනයකම තියෙන AEB එක එකම විදිහට වැඩ කරන්නේ නැහැ. මේවා ප්රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්:
- Low-Speed System: මේක විශේෂයෙන් හදලා තියෙන්නේ නගරබද වාහන තදබදය තියෙන පාරවල් වලට. අඩු වේගයකින් (පැයට කිලෝමීටර් 30-50 වගේ) යද්දී ඉස්සරහා වාහනයක වැදීම වළක්වන්න මේක උදව් වෙනවා.
- High-Speed System: මේක හයිවේ (Highway) වල වැඩි වේගයකින් යද්දී මීටර් 200ක් විතර ඈතින් තියෙන වාහන හඳුනාගන්න පුළුවන් රේඩාර් තාක්ෂණය භාවිතා කරන පද්ධතියක්.
- Pedestrian Detection: මේක තමයි දියුණුම පද්ධතිය. වාහන විතරක් නෙවෙයි, පාරේ මාරු වෙන මිනිස්සු, සත්තු සහ බයිසිකල් පවා හඳුනාගෙන වාහනය නවත්වන්න මේකට පුළුවන්.
මේ පද්ධතියේ සීමාවන් සහ නඩත්තුව
ඔයා දැනගන්න ඕනේ මේ පද්ධතිය සියයට සියයක් හැම වෙලාවෙම වැඩ කරන්නේ නැති බව. උදාහරණයක් විදිහට අධික වැස්ස තියෙන වෙලාවට, මීදුම තියෙන වෙලාවට හෝ හිම වැටෙන වෙලාවට සංවේදක වලට පාර පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම කැමරා තියෙන තැන කුණු ගෑවිලා තිබ්බොත් පද්ධතිය ක්රියාවිරහිත වෙන්න පුළුවන්.
ඒ නිසා වාහනයක් සර්විස් කරද්දී හෝ රෙපෙයාර් එකක් කරද්දී පද්ධතියේ සෙන්සර් තියෙන තැන් පිරිසිදුව තියෙනවද කියලා බලන්න ඕනේ. විශේෂයෙන්ම වින්ඩ්ස්ක්රීන් එක මාරු කරනවා නම්, මේ කැමරා පද්ධතිය නැවත 'Calibration' කරන්න ඕනේ. එහෙම නැති වුණොත් පද්ධතිය වැරදි දත්ත අරගෙන අනවශ්ය වෙලාවට බ්රේක් කරන්න පුළුවන්. ඒක පස්සෙන් එන වාහනයක් අපේ වාහනයේ හැප්පෙන්න හේතුවක් වෙන්නත් පුළුවන්.
අවසාන වශයෙන්
අවසාන වශයෙන් AEB කියන්නේ රියදුරාට සහායක් විතරයි. "දැන් වාහනේ තනියම නවතිනවනේ" කියලා නිදහසේ ඉන්න රියදුරාට බැහැ. රියදුරා හැමවෙලේම අවධානයෙන් ඉන්න ඕනේ. හැබැයි මේ තාක්ෂණය නිසා අද ලෝකයේ සිද්ධ වෙන රිය අනතුරු ප්රමාණය විශාල වශයෙන් අඩු වෙලා තියෙනවා. වාහනයක් මිලදී ගනිද්දී හෝ පාවිච්චි කරද්දී මේ වගේ තාක්ෂණික පද්ධති ගැන දැනගෙන ඉන්න එක වාහන හිමියෙක් විදිහට ඔයාගේ දැනුමට ලොකු වටිනාකමක් එකතු කරනවා. වාහනයක තියෙන සේෆ්ටි ෆීචර්ස් ගැන හැමවෙලේම යාවත්කාලීන වෙලා ඉන්න එක ඔයාට වගේම පාරේ ගමන් කරන අනිත් අයටත් ලොකු සහනයක් වේවි.

ලියන ලද්දේ
Nisaga Sandaru
A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.





























