Turbo එන්ජින් සහ Natural Aspirated එන්ජින් අතර වෙනස

Motor Guide අපි අද කතා කරන්න යන්නෙ වාහන ලෝකයේ ගොඩක් කතාබහට ලක්වන, ඒ වගේම ගොඩක් අය අතර උණුසුම් සංවාදයට තුඩු දීලා තියෙන මාතෘකාවක් ගැනයි. ඒ තමයි Turbo එන්ජින් සහ Natural Aspirated එන්ජින් අතර තියෙන සැබෑ වෙනස. වාහනයක් මිලදී ගන්න යද්දි ගොඩක් අය මේ එන්ජින් වර්ග දෙක ගැන ලොකු ව්‍යාකූලත්වයකට පත් වෙනවා. අද අපි මේක ඉතාම සරලව, ඒ වගේම තාක්ෂණික පැත්තෙන් ගැඹුරටම කතා කරලා බලමු මොකක්ද මේ වාසි සහ අවාසි කියල.
Natural Aspirated (NA) එන්ජින්
Natural Aspirated එන්ජින් කියන්නේ සාම්ප්‍රදායික, කාලයක් තිස්සේ වාහනවල පාවිච්චි කරපු විශ්වාසවන්තම ක්‍රමයක්. මේ ක්‍රමයේදී වෙන්නේ එන්ජිමේ පිස්ටන් පහළට යද්දි ඇතිවන රික්තක බලය (Vacuum effect) හරහා බාහිර වායුගෝලයෙන් වාතය සිලින්ඩරය ඇතුළට ඇදගැනීමයි. මෙතනදී Boost කිරීමක් හෝ වෙනත් බලයකින් වායු සැපයුමක් කරන්නෙ නැහැ. ඉන්ධන සහ වාතය මිශ්‍ර වෙලා දහනය වෙලා තමයි එන්ජිමට අවශ්‍ය බලය උත්පාදනය කරන්නේ. මේ ක්ෂේත්‍රයේ ඉන්න අය විදියට අපි දකින දෙයක් තමයි, මේ එන්ජින් පසුබෑමකින් තොරව (No turbo lag) ඉතාම සුමටව පෑඩල් input එකට ප්‍රතිචාර දැක්වීම.
Turbocharged එන්ජින්
ඊට හාත්පසින්ම වෙනස් ක්‍රමයක් තමයි Turbocharger එකක් සහිත එන්ජින් කියන්නේ. මේ තාක්ෂණය හරහා කරන්නේ එන්ජිමෙන් පිටවන Exhaust gases වල බලය පාවිච්චි කරලා ටර්බෝ එකේ තියෙන ටර්බයින් එකක් අධික වේගයෙන් කරකවන එකයි. මේකෙන් වෙන්නේ වායුගෝලීය වාතය තදින් සම්පීඩනය කරලා (Compressed air) එන්ජිමට බලහත්කාරයෙන් ඇතුළු කරන එකයි. වාතය කියන්නේ ඔක්සිජන් වැඩිපුර තියෙන දෙයක් නිසා, වැඩිපුර වාතය වගේම වැඩිපුර ඉන්ධන ප්‍රමාණයක් එකතු කරලා ඉතාම කුඩා එන්ජිමකින් ලොකු Horsepower එකක් එළියට ගන්න මේකට පුළුවන් වෙනවා.
ක්‍රියාකාරීත්වයේ ප්‍රධාන තාක්ෂණික වෙනස්කම්
- බලය ලබාදීම සහ Turbo Lag: Natural Aspirated එන්ජින්වල බලය ලැබෙන්නේ එන්ජිමේ ධාරිතාව (Engine displacement/CC) අනුවයි. උදාහරණයක් විදියට ලීටර් 2.5 ක එන්ජිමකින් ලැබෙන බලය, ලීටර් 1.0 ක එන්ජිමකින් ලබාගන්න බැහැ. ටර්බෝ එන්ජින්වලදී මේ බලය එකපාරටම ලැබෙන්නේ නැහැ. ටර්බෝ එක ක්‍රියාත්මක වෙන්න නිසි RPM මට්ටමක් අවශ්‍ය නිසා, පෑඩල් එක පාගපු මොහොතේ ඉඳන් බලය ලැබෙන්න පොඩි ප්‍රමාදයක් තියෙනවා. ඒකට තමයි අපි 'ටර්බෝ ලැබ්' (Turbo lag) කියලා කියන්නේ.
- ඉන්ධන කාර්යක්ෂමතාව: ඉන්ධන දහනය සහ කාර්යක්ෂමතාව ගැන කතා කරනකොට, ටර්බෝ එන්ජින් මෙතනදී ගොඩක් ඉස්සරහින් ඉන්නවා. වාහනය සාමාන්‍ය වේගයෙන් පදිනකොට (Cruising) ටර්බෝ එක ක්‍රියාත්මක වෙන්නේ නැති තරම් නිසා, ඒක කුඩා එන්ජිමක් වගේ ඉන්ධන පාවිච්චි කරන්නේ. ඒත් අපිට එකපාරටම වේගය වැඩි කරගන්න ඕන වුණාම, ටර්බෝ එක වැඩ කරන්න පටන් අරන් ලොකු බලයක් දෙනවා. හැබැයි මේකේ අනිත් පැත්තත් තියෙනවා. ඔබ නිතරම ටර්බෝ එක උපරිමයෙන් වැඩ කරන විදිහට (Aggressive driving) වාහනය පැදුවොත්, Natural Aspirated එන්ජිමකට වඩා ගොඩක් වැඩි ඉන්ධන ප්‍රමාණයක් ටර්බෝ එන්ජිමක් දහනය කරන්න පුළුවන්.
- නඩත්තුව සහ කල්පැවැත්ම: Natural Aspirated එන්ජින්වල කොටස් අඩුයි, වැඩිය සංකීර්ණ නැහැ. ඒ නිසා ඒවා අවුරුදු ගණනාවක් තිස්සේ කිසිම කරදරයක් නැතුව දුවන්න පුළුවන්, නඩත්තු වියදමත් ගොඩක් අඩුයි. නමුත් ටර්බෝ එන්ජින් කියන්නේ අධික උෂ්ණත්වයකින් සහ පීඩනයකින් වැඩ කරන පද්ධතියක්. ඒ නිසා මෝටර් වාහනයේ එන්ජින් ඔයිල් මාරු කිරීම නියමිත වෙලාවටම, ඉතාම උසස් තත්වයේ ඔයිල් පාවිච්චි කරලා කරන්න වෙනවා. ටර්බෝ චාජර් එකට මොකක් හරි දෝෂයක් ආවොත්, අලුත්වැඩියා කිරීමේ වියදම සාමාන්‍ය එන්ජිමකට වඩා ගොඩක් වැඩි වෙන්න පුළුවන්.
Motor Guide අපේ උපදෙස
අවසාන වශයෙන් Motor Guide අපේ උපදෙස නම්, ඔබ වැඩිපුරම නගරය තුළ, සෙමින් සහ සාමාන්‍ය ගමන් බිමන් යන අයෙක් නම් ඔබට හොඳම සහ වඩාත්ම ගැළපෙන තේරීම වෙන්නේ Natural Aspirated එන්ජිමක් සහිත වාහනයක්. ඒකෙන් ඔබට කිසිදු කරදරයකින් තොරව අඩු නඩත්තු වියදමකින් වාහනය පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔබ දිගු ගමන් යන්න බලාපොරොත්තු වෙන, අධිවේගී මාර්ගවල ධාවනය කරන, ඉන්ධන කාර්යක්ෂමතාවත් එක්කම හොඳ ත්වරණයක් (Acceleration) බලාපොරොත්තු වන අයෙක් නම්, නවීන තාක්ෂණයෙන් යුත් ටර්බෝ එන්ජිමක් කියන්නේ ඔබට කදිම අත්දැකීමක් ගෙන දෙන හොඳම තේරීමක්.
ඒ වගේම නවීන වාහන සහ තාක්ෂණය ගැන මෙවැනිම වටිනා තොරතුරු දැනගන්න හැමදාමත් අපේ Motor Guide එක්ක රැඳී ඉන්න කියලත් මතක් කරනව.

ලියන ලද්දේ
Nisaga Sandaru
A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.




































