මොකද්ද මේ phev කියන්නෙ?

Motor Guide අපි අද කතා කරන්න යන්නෙ වර්තමාන වාහන ලෝකය වේගයෙන්ම විදුලි බලය පැත්තට හැරෙමින් පවතින යුගයක, සාම්ප්රදායික ඉන්ධන එන්ජිමක තියෙන විශ්වාසවන්තභාවය සහ සම්පූර්ණ විදුලි වාහනයක තියෙන ඉහළම කාර්යක්ෂමතාවය එකට එකතු කරලා හදපු අතිශය ජනප්රිය තාක්ෂණයක් ගැනයි. ඒ තමයි නවීන වාහන රැසක අපිට දකින්න ලැබෙන PHEV තාක්ෂණය. අපි හැමෝම දන්නවා සාමාන්ය hybrid වාහනයක් පාවිච්චි කරද්දී අපිට ඒකෙ බැටරිය වෙනම plug කරලා charge කරගන්න බැහැ. හැබැයි අද අපි කතා කරන මේ සුවිශේෂී පද්ධතිය ගැන. මේ හරහා වාහන හිමියන්ට තමන්ගේ වාහනය electric වාහනයක් වගේම බාහිරින් විදුලිය ලබා දීලා charge කරගැනීමේ හැකියාව ලැබෙනවා. අද අපි මේ තාක්ෂණය ඇත්තටම ක්රියා කරන්නේ කොහොමද, මෙහි තියෙන සැබෑ ප්රයෝජන, අවාසි සහ සාමාන්ය වාහනවලට වඩා මේකෙ තියෙන සියලුම තාක්ෂණික වෙනස්කම් මොනවාද කියන එක ගැන කිසිම කරුණක් අතනෑර හරියටම තේරුම් ඉගෙනගමු.
සරලවම කිව්වොත්, PHEV කියන්නේ Plug-in Hybrid Electric Vehicle කියන සංකල්පයටයි. මෙය සාමාන්ය hybrid වාහන සහ සම්පූර්ණ electric වාහන අතර මැද පිහිටන අපූරු තාක්ෂණික පාලමක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ ක්ෂේත්රයේ ඉන්න අය විදියට අපි දකින දෙයක් තමයි, Mitsubishi Outlander, Toyota RAV4, Honda Clarity සහ BMW 330e වැනි ලෝක ප්රකට වාහන මාදිලි රැසක් මේ තාක්ෂණය භාවිත කරමින් මුළු ලෝකයේම රියදුරන්ගේ විශ්වාසය දිනා ගැනීමට සමත් වෙලා තියෙනවා. මෙහි ඇති ලොකුම විශේෂත්වය වෙන්නේ දෛනික කෙටි ගමන් බිමන් සඳහා පෙට්රල් හෝ ඩීසල් බිඳුවක්වත් වැය නොකර 100%ක්ම විදුලි බලයෙන් පමණක් ධාවනය කිරීමටත්, දුර ගමන් බිමන් යන විට ඉන්ධන එන්ජිම භාවිත කරමින් කිසිදු බියකින් තොරව ගමන් කිරීමටත් රියදුරුට අවස්ථාව ලැබීමයි.
මේ පද්ධතිය පිටුපස සාමාන්ය internal combustion engine එකක්, ඉතාම ප්රබල electric motor එකක් හෝ කිහිපයක්, විශාල ධාරිතාවයකින් යුතු high voltage lithium-ion battery pack එකක්, power control unit එකක් සහ බාහිරින් විදුලිය ලබාගත හැකි onboard charger එකක් තියෙනවා. සාමාන්ය hybrid වාහනයක එන කුඩා බැටරිය මෙන් නොව (එය සාමාන්යයෙන් 1.5 kWh පමණ වේ), PHEV වාහනවල එන බැටරිය 8 kWh සිට 20 kWh දක්වා ප්රමාණයෙන් සහ ධාරිතාවයෙන් ඉතාම විශාලයි. මේ නිසාම වාහනය පණගන්වා drive modes තෝරාගැනීමේදී රියදුරුට උපරිම නිදහසක් හිමිවෙනවා.
මෙම පද්ධතියේ ක්රියාකාරීත්වය මූලිකවම ප්රධාන drive modes හතරක් යටතේ සිදුවෙනවා. පළමු වැන්න තමයි All-Electric mode (EV Mode) එක. මේකෙදි වාහනයේ බැටරිය බාහිරින් සම්පූර්ණයෙන්ම charge කරල ධාවනය කරන්න පුළුවන්, වාහනයේ එන්ජිම කිසිසේත්ම පණගැන්වෙන්නේ නැහැ. බැටරියේ ඇති විදුලි බලයෙන් පමණක් electric motor එක ක්රියාත්මක වෙලා කිලෝමීටර් 40 සිට 80 දක්වා දුරක් 100%ක්ම විදුලි වාහනයක් ලෙස උපරිම නිශ්ශබ්දතාවයකින් යුතුව ධාවනය කිරීමට වාහනයට පුළුවන්. සාමාන්යයෙන් අපේ රටේ බොහෝ දෙනෙකුගේ දෛනික රැකියා ගමන් බිමන් සහ නිවසේ අවශ්යතා මේ කිලෝමීටර් 50 සීමාව ඇතුළත පවතින නිසා, මාස ගණනාවක් යනතුරු පෙට්රල් ෂෙඩ් එකකට යන්නෙ නැතුව වාහනය පාවිච්චි කරන්න PHEV රථයකට හැකියාව ලැබෙනවා.

දෙවැනි mode එක තමයි Hybrid mode (HEV Mode) එක. බැටරියේ විදුලි බලය යම් නිශ්චිත අවම මට්ටමකට අඩු වූ සැනින්, පද්ධතිය විසින් ස්වයංක්රීයව internal combustion engine එක පණගන්වනු ලබනවා. ඊටපස්සේ වාහනය සාමාන්ය hybrid වාහනයක් ලෙස ක්රියා කිරීමට පටන් ගන්නවා. මෙහිදී එන්ජිමේ බලය සහ electric motor එකෙහි බලය එකිනෙක මුසු වෙමින් රෝද වෙත බලය සපයනවා. එමෙන්ම වාහනය තිරිංග යොදන විට අපතේ යන ශක්තිය නැවත විදුලිය බවට හරවන regenerative braking තාක්ෂණයද මෙහි ක්රියාත්මක වෙනවා. මේ නිසා ඔබට දුර ගමනක් යාමට අවශ්ය වුවහොත්, electric වාහනවල මෙන් මග බැටරි charge කරන තැන් හොය හොය යන්න අවශ්ය වෙන්නේ නැහැ. පෙට්රල් හෝ ඩීසල් තියන කන් සාමාන්ය වාහනයක් වගේ KM ගනනාවක් උනත් එක දිගට ධාවනය කරන්න පුළුවන්.
තෙවැනි අවස්ථාව තමයි Battery Hold mode එක. මෙහිදී රියදුරුට තමන් සතු බැටරි බලය ඉදිරි නාගරික ධාවනයක් සඳහා ඒ අයුරින්ම ඉතිරි කර තබා ගැනීමට අවශ්ය නම්, මෙම mode එක ක්රියාත්මක කරන්න පුළුවන්. එවිට පද්ධතිය විසින් එන්ජිම පමණක් පාවිච්චි කරමින් බැටරියේ ආරෝපණ මට්ටම (State of Charge) එකම අගයක රඳවා ගන්නවා.
හතරවැනි ක්රමය වන්නේ Battery Charge mode එකයි. මෙහිදී වාහනය ධාවනය වන අතරතුර එන්ජිමේ අතිරික්ත බලය සහ generator එකක් උපයෝගී කරගෙන බැටරිය නැවත 80%ක් දක්වා charge කරගැනීමට පද්ධතිය කටයුතු කරනවා.
මීට අමතරව PHEV වාහනයක් charge කිරීමේදී ප්රධාන ක්රමවේද තුනක් බහුලවම භාවිත වෙනවා:
-
Level 1 Charging:
සාමාන්ය නිවසේ ඇති විදුලි පේනුවකට (13A/15A Wall Socket) සම්බන්ධ කර සිදු කරන ක්රමය මේකෙදි සාමාන්යයෙන් පැය 8 සිට 12 දක්වා සෑහෙන කාලයක් ගත වෙනවා.
-
Level 2 AC Charging:
නිවසේ හෝ පොදු ස්ථානයක සවි කරල තියෙන wallbox එකක් (7kW - 22kW AC Charger) හරහා සිදු කරන ක්රමය. මේකෙදි පැය 2 සිට 5 වැනි කෙටි කාලයකදී බැටරිය සම්පූර්ණයෙන්ම charge කරගන්න පුළුවන්.
-
DC Fast Charging:
Mitsubishi Outlander වැනි සමහර සුවිශේෂී PHEV වාහනවල පමණක් DC fast charging සඳහා CHAdeMO හෝ CCS port ලබා දීලතියෙන නිසා, ඒකෙන් විනාඩි 25ක් වැනි කෙටි කාලයකදී බැටරියෙන් 80%ක්ම charge කරගැනීමේ හැකියාව පවතිනවා.

මේ නවීන තාක්ෂණය නිසා ප්රායෝගික ජීවිතයේදී අපිට ලැබෙන වාසි සහ පහසුව අතිමහත්. ප්රධානම වාසිය තමයි fuel economy හෙවත් ඉන්ධන පිරිමැස්මයි. නිවසේදී හෝ කාර්යාලයේදී වාහනය charge කරගන්නේ නම්, ඔබේ ඉන්ධන වියදම 80%කට වඩා අඩු කරගන්න පුළුවන්. ඒ වගේම instant torque ඉතාම වැඩී. විදුලි මෝටරය ඉතාම ප්රබල නිසා acceleration pedal එක පාගපු සැනින් electric වාහනයක ඇති ක්ෂණික සහ බලවත් ත්වරණය මෙහිදී අත්විඳින්න පුළුවන්. ඒ වගේම, සාමාන්ය electric වාහන හිමියන්ට නිතරම ඇතිවන range anxiety හෙවත් බැටරිය ඉවර වෙයි කියා ඇතිවන අනියත බිය PHEV වාහනවල සම්පූර්ණයෙන්ම නැති වී යනවා.
කෙසේ වෙතත්, මේකෙදි කාසිවල දෙපැත්ත වගේ අවාසි කිහිපයකුත් තියෙනවා. ප්රධානම ගැටලුව වෙන්නෙ වාහනයේ බර (Weight Increase) වැඩි වීමයි. විශාල බැටරි පැක් එක සහ ඉන්ධන එන්ජිම යන පද්ධති දෙකම එකට පවතින නිසා සාමාන්ය වාහනයකට වඩා PHEV වාහනයක බර කිලෝග්රෑම් 200-300ක් පමණ වැඩියි. ඔබ PHEV වාහනයක් මිලදී ගෙන එය බාහිරින් charge කරන්නේ නැතිව, එන්ජිමෙන් පමණක් දිගටම ධාවනය කරනව නම් බරින් වැඩි වාහනයක් ඇදගෙන යාමේදී සාමාන්ය වාහනයකටත් වඩා ඉන්ධන පිරිමැස්ම ශීඝ්රයෙන් පහළ බහින්න පුළුවන්. ඒ වගේම පද්ධති දෙකක් තියෙන නිසා දිගුකාලීනව නඩත්තු වියදම් (Maintenance Costs) තරමක් ඉහළ යන්න පුළුවන්.
Motor Guide අපේ උපදෙස නම්, ඔබ PHEV වාහනයක් භාවිත කරනව නම්, මෙහි ඇති උසස් high voltage electrical components, inverter සහ බැටරි පද්ධතිය නියමිත කාල පරාසයන් තුළදී සහතික ලත් විශේෂඥයකු ලවාම පරීක්ෂා කර නඩත්තු කරන්න ඕනෙ. විශේෂයෙන්ම වාහනය බාහිරින් charge කිරීමේදී වාහන නිෂ්පාදකයා විසින් අනුමත කරන ලද නියමිත ප්රමිතියෙන් යුතු charging cables සහ ආරක්ෂිත ගෘහස්ථ wallbox chargers පමණක් භාවිත කිරීමට වගබලා ගන්න. දුර්වල තත්ත්වයේ වයර් හෝ බාල වර්ගයේ plug points භාවිත කිරීමෙන් වාහනයේ onboard charger එකට සහ විදුලි පද්ධතියට බරපතල හානි සිදුවිය හැක. නිරන්තරයෙන් බැටරියේ සෞඛ්ය තත්ත්වය (State of Health - SOH) පිළිබඳව සැලකිලිමත් වීමෙන් සහ දෛනිකව නිවැරදිව charge කර ධාවනය කිරීමෙන් ඔබේ PHEV රථයෙන් උපරිම මෙන්ම ආර්ථිකමය ඵලදායීතාවයක් දිගුකාලීනව ලබාගන්න පුළුවන්. ඒ වගේම නවීන වාහන සහ තාක්ෂණය ගැන මෙවැනිම වටිනා තොරතුරු දැනගන්න හැමදාමත් අපේ Motor Guide එක්ක රැඳී ඉන්න කියලත් මතක් කරනව.

ලියන ලද්දේ
Nisaga Sandaru
A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.




































