වාහනය මොකක් වුනත් නැතුවම බැරි 12V Auxiliary Battery

අද ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ වාහනයක වැදගත්ම දේ එන්ජිම හරි, හයිබ්‍රිඩ් වාහනයක් නම් ඒකේ ලොකු බැටරිය (High Voltage Battery) හරි විතරයි කියලා. හැබැයි වාහනය මොකක් වුණත් ඒක පරණ කොරොල්ලා එකක් වුනත් අලුත්ම ඉලෙක්ට්‍රික් ටෙස්ලා එකක් වුනත් මේ හැම එකකටම පණ දෙන්නේ අපි කවුරුත් වැඩිය ගණන් නොගන්න 12V Auxiliary Battery එක හෙවත් ඔය පුංචි බැටරියයි. බාස් කෙනෙක් විදිහට මම මේකේ තියෙන බරපතළකම ඔයාට පැහැදිලි කරලා දෙන්නම්.
ඇයි මේ 12V බැටරිය මෙච්චර වැදගත් වෙන්නේ?
ඔයාගේ වාහනය පණගන්වන්න (Start කරන්න) අවශ්‍ය කරන මූලික විදුලිය දෙන්නේ මේ බැටරියෙන්. හයිබ්‍රිඩ් හෝ ඉලෙක්ට්‍රික් වාහනයක වුණත්, වාහනයේ තියෙන ප්‍රධාන පරිගණක පද්ධතිය (ECU) පණගන්වන්නත්, රිලේ (Relays) ක්‍රියාත්මක කරලා ප්‍රධාන බැටරිය සම්බන්ධ කරන්නත් මේ 12V බැටරිය අනිවාර්යයි.
ඒ විතරක් නෙවෙයි, වාහනය ඕෆ් කරලා තියෙද්දී සෙන්ට්‍රල් ලොකින්, එලාම් පද්ධතිය, සහ ඩෑෂ්බෝඩ් එකේ මතකය (Memory) රඳවා ගන්නෙත් මේ පුංචි බැටරියෙන් ලැබෙන විදුලියෙන්. මේක සවුත්තු වුණොත්, ලොකු බැටරියේ පවර් එක කොච්චර තිබුණත් වාහනය "Dead" වෙනවා.
හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් වාහන වලදී මේකේ වෙනස
ගොඩක් අය මගෙන් අහනවා "මගේ වාහනය හයිබ්‍රිඩ් නේ, මොකටද මේ පුංචි බැටරියක්?" කියලා. මතක තබාගන්න හයිබ්‍රිඩ් වාහනයක වුණත් ඇතුළත ලයිට්, වයිපර්, හෝන්, සහ Audio සිස්ටම් එක වැඩ කරන්නේ මේ 12V පද්ධතියෙන්.
මේ බැටරිය දුර්වල වුණාම වාහනය ස්ටාර්ට් වෙන්න වෙලාව ගන්නවා විතරක් නෙවෙයි, ඩෑෂ්බෝඩ් එකේ පිස්සුවෙන් වගේ එක එක Warning Lights පත්තු වෙන්න ගන්නවා. ගොඩක් අය මේ වගේ වෙලාවට අනවශ්‍ය විදිහට බය වෙලා ලොකු ලෙඩක් කියලා හිතුවට, ඇත්තම ලෙඩේ මේ පුංචි බැටරිය දුර්වල වීමයි.
බැටරිය පරිස්සම් කරගන්නේ කොහොමද?
මේ බැටරිය සාමාන්‍යයෙන් අවුරුදු 2ක් හෝ 3ක් වගේ තමයි හොඳින් වැඩ කරන්නේ. හැබැයි ඔයා වාහනය සති ගණන් පාවිච්චි කරන්නේ නැතුව තිබ්බොත්, වාහනයේ තියෙන සෙන්සර් වලට මේකේ පවර් එක ටික ටික ඇදිලා බැටරිය "Deep Discharge" වෙන්න පුළුවන්. එහෙම වුණාම බැටරියේ ආයු කාලය ගොඩක් අඩු වෙනවා.
විශේෂයෙන්ම මතක තියාගන්න, එන්ජිම ඕෆ් කරලා තියෙද්දී රේඩියෝ අහන එක හරි, හෙඩ් ලයිට් දාලා තියන එක හරි කළොත් මේ බැටරිය ඉක්මනින්ම බහිනවා. මොකද සාමාන්‍ය වාහනයක වගේ නෙවෙයි, හයිබ්‍රිඩ් වාහනයක මේ බැටරිය ප්‍රමාණයෙන් ගොඩක් පොඩියි.
නඩත්තුවේදී වැදගත් කරුණු
- ටර්මිනල් පිරිසිදු කිරීම: ඔයාගේ වාහනයේ බැටරි ටර්මිනල් (Terminals) උඩ සුදු පාටට කුඩු වගේ බැඳිලා තියෙනවා නම් (Corrosion), ඒක උණු වතුර ස්වල්පයක් දාලා පිරිසිදු කරලා ග්‍රීස් ටිකක් ගාන්න.
- නිවැරදි බැටරිය තෝරාගැනීම: බැටරිය මාරු කරනවා නම් වාහන නිෂ්පාදකයා නිර්දේශ කරපු නියමිත Ah (Ampere hours) අගය තියෙන බැටරියක්ම දාන්න. විශේෂයෙන්ම "Maintenance Free" (MF) බැටරි දානවා නම් හොඳ වර්ගයකින් තෝරාගන්න.
- වෝල්ටීයතාව පරීක්ෂා කිරීම: මාස 6කට සැරයක්වත් මල්ටිමීටරයක් දාලා බැටරියේ වෝල්ටීයතාවය (Voltage) පරීක්ෂා කරගන්න එක ඔයාව අතරමං වීමෙන් වළක්වනවා.

ලියන ලද්දේ
Nisaga Sandaru
A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.



































