හැම වාහනේටම 95 Octane ඕනෙද?

Motor Guide අපි අද කතා කරන්න යන්නෙ හැම වාහනේටම 95 ඔක්ටේන් පෙට්‍රල් ඕනෙද කියන එක ගැන. මේ දවස්වල ඉන්ධන පිරවුම් හල්වලට ගියාම ගොඩක් දෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මගේ වාහනෙට 92 ගහන්නද නැත්නම් 95 ගහන්නද කියන එක. ගොඩක් අය හිතන් ඉන්නේ අලුත් වාහනවලට වගේම මිල අධික වාහනවලට අනිවාර්යයෙන්ම 95 ඔක්ටේන් පෙට්‍රල්ම දාන්න ඕනේ කියලා. ඒත් ඇත්තටම තත්ත්වය එහෙමද? අපි අද මේ ලිපියෙන් ඒ ගැන තාක්ෂණික පැත්තෙන් හරියටම කතා කරමු.
ඔක්ටේන් අගය යනු කුමක්ද?
මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ මොකක්ද මේ ඔක්ටේන් අගය කියන්නේ කියලා. ඔක්ටේන් අගය කියන්නේ ඉන්ධනයක තියෙන පීඩනයට ඔරොත්තු දීමේ හැකියාවටයි. එහෙමත් නැත්නම් එන්ජිම ඇතුළේ ඉන්ධන සහ වායු මිශ්‍රණය පීඩනයට පත්වෙලා පුපුරා යද්දී, ඒක නියමිත වේලාවට හරියටම සිදුවෙන්න උදව් කරන මිනුමක් තමයි ඔක්ටේන් අගය කියන්නේ. මේ ක්ෂේත්‍රයේ ඉන්න අය විදියට අපි දකිනවා ගොඩක් අය හිතන්නේ 95 කියන්නේ 92 ට වඩා වැඩි බලයක්, ශක්තියක් තියෙන ඉන්ධනයක් කියලා. ඒක වැරදි වැටහීමක්. 95 පෙට්‍රල්වල ශක්ති ප්‍රමාණය 92 පෙට්‍රල්වලට වඩා වැඩි නැහැ. වෙනස තියෙන්නේ එන්ජිම ඇතුළේදී පිපිරීම සිදුවන වේලාව පාලනය කිරීමේ හැකියාවෙ විතරයි.
සමහර වාහනවලට 95 ඔක්ටේන් අවශ්‍ය ඇයි?
දැන් අපි බලමු ඇයි සමහර වාහනවලට 95 ඔක්ටේන් ඕනේ වෙන්නේ කියලා. නවීන වාහනවල එන්ජින් නිර්මාණය කරලා තියෙන්නේ අධික සම්පීඩන අනුපාත යටතේ ක්‍රියාත්මක වෙන්න. ඒ වගේම ටර්බෝචාජර් වගේ තාක්ෂණයන් පාවිච්චි කරනකොට එන්ජින් සිලින්ඩරය ඇතුළේ උෂ්ණත්වය සහ පීඩනය ගොඩක් වැඩි වෙනවා. මේ වගේ අවස්ථාවක අපි 92 පෙට්‍රල් වගේ අඩු ඔක්ටේන් අගයක් තියෙන ඉන්ධනයක් පාවිච්චි කළොත්, ස්පාර්ක් ප්ලග් එකෙන් ගිනි පුළුවක් හදන්න කලින්ම, අධික පීඩනය නිසා ඉන්ධන මිශ්‍රණය නියමිත වෙලාවට කලින් ස්වයං පිපිරීමකට යන්න පුළුවන්. මේකට අපි කියන්නේ "knocking" එහෙමත් නැත්නම් එන්ජිමෙන් ටක් ටක් වගේ ශබ්දයක් නිකුත් වෙමින් පිස්ටන්වලට සහ එන්ජිමේ අභ්‍යන්තර කොටස්වලට හානි වන තත්ත්වයක් කියලා. මෙන්න මේ උස් සම්පීඩන තියෙන එන්ජින්වලට ස්වයංසිද්ධ පිපිරීම් පාලනය කරලා එන්ජිමේ ආයු කාලය රකින්න තමයි 95 ඔක්ටේන් අනිවාර්ය වෙන්නේ.
සාමාන්‍ය එන්ජින් සහ 92 ඔක්ටේන්
ඒත් එක්කම සාමාන්‍ය එන්ජින් තාක්ෂණය තියෙන, අඩු සම්පීඩන අනුපාත සහිත සාමාන්‍ය වාහනවලට 95 ඔක්ටේන් පෙට්‍රල් දැමීමෙන් කිසිම අමතර වාසියක් ලැබෙන්නේ නැහැ. උදාහරණයක් විදියට සාමාන්‍ය මෝටර් රථ හෝ පරණ මාදිලියේ වාහන ගත්තොත්, ඒවා නිෂ්පාදකයින් නිර්දේශ කරලා තියෙන්නේ 92 ඔක්ටේන් පෙට්‍රල් භාවිත කරන්නයි. එවැනි වාහනවලට වැඩි මිලක් දීලා 95 පෙට්‍රල් ගැහුවොත් වෙන්නේ අපේ සාක්කුවට අනවශ්‍ය බරක් එකතු වීම විතරයි. එන්ජිමට කිසිම විශේෂ දියුණුවක් හෝ ඉන්ධන කාර්යක්ෂමතාවයේ වැඩිවීමක් ඒ හරහා ලැබෙන්නේ නැහැ.
වාහන නිෂ්පාදකයින් විසින් සෑම වාහනයකටම ගැළපෙන නිවැරදි ඉන්ධන වර්ගය කුමක්ද යන්න එහි fuel cap ඇතුළපැත්තේ හෝ පරිශීලක අත්පොතේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. අපි හැම වෙලේම කරන්න ඕනේ ඒ නිෂ්පාදකයාගේ උපදෙස් පිළිපදින එකයි. වාහනේ හැසිරීම, ඉන්ධන දහනය වෙන විදිහ සහ එහි තාක්ෂණික පසුබිම ගැන හරියටම නොදැන අනුන් කියන දේවල්වලට රැවටිලා අනවශ්‍ය වියදම් කරන්න යන්න එපා. ඔබේ වාහනයට 92 ඔක්ටේන් ප්‍රමාණවත් නම්, කිසිම පැකිලීමකින් තොරව ඒක පාවිච්චි කරන්න පුළුවන්.
Motor Guide අපේ උපදෙස
Motor Guide අපේ උපදෙස තමයි ඔබේ වාහනයට 95 ඔක්ටේන් අවශ්‍යද නැද්ද යන්න තීරණය කළ යුත්තේ අනුන් කියන කතා අහලා නෙවෙයි, ඔබේ වාහනයේ තාක්ෂණික දත්ත සහ නිෂ්පාදකයාගේ නිර්දේශ මතයි. ඔබේ වාහනය නිර්දේශ කර ඇත්තේ 92 ඔක්ටේන් සඳහා නම්, අනවශ්‍ය ලෙස වැඩි මිලක් දී 95 දැමීමෙන් ඔබේ ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි වන්නේ නැත. එසේම, අධික සම්පීඩන හෝ ටර්බෝ එන්ජින් සහිත නවීන වාහන සඳහා 95 ඔක්ටේන් අත්‍යවශ්‍ය වෙනවා ඒ වගේම එහිදී 92 භාවිත කිරීමෙන් එන්ජිමට දීර්ඝකාලීනව හානි සිදුවෙන්න පුලුවන්. ඒ නිසා, සැමවිටම ඔබේ වාහනයේ අත්පොත පරිශීලනය කරන්න.
ඒ වගේම නවීන වාහන සහ තාක්ෂණය ගැන මෙවැනිම වටිනා තොරතුරු දැනගන්න හැමදාමත් අපේ Motor Guide එක්ක රැඳී ඉන්න කියලත් මතක් කරනව.

ලියන ලද්දේ
Nisaga Sandaru
A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.






























