මොකද්ද මේ REEV කියන්නෙ?

Motor Guide අපි අද කතා කරන්න යන්නෙ මුළු ලෝකයම විදුලි මෝටර් රථ පැත්තට වේගයෙන්ම ගමන් කරන කාලෙක, සාමාන්ය electric වාහනවල තියෙන ලොකුම ප්රශ්නයක් වෙන range anxiety එක හෙවත් බැටරිය මගදි ඉවර වෙයි කියන බිය 100%ක්ම නැති කරන්න සමත් වුණු අතිශය අපූරු සහ බුද්ධිමත් තාක්ෂණයක් ගැනයි. ඒ තමයි නවීන මෝටර් රථ ක්ෂේත්රයේ දැවැන්ත පෙරළියක් කරමින් ඉදිරියට එන REEV තාක්ෂණය. අපි හැමෝම දන්නවා සාමාන්ය electric වාහනයක් පාවිච්චි කරද්දී දීර්ඝ ගමනක් යන්න වුණොත් මග තියෙන charging stations හොයමින් කාලය නාස්ති කරන්න සිදු වෙනවා. අන්න ඒ ප්රශ්නයට කදිම සහ ස්ථිර විසඳුමක් විදිහට තමයි ලෝක ප්රකට වාහන නිෂ්පාදකයෝ මේ REEV තාක්ෂණය ලෝකයට හඳුන්වා දීලා තියෙන්නේ. අද අපි මේ පද්ධතිය වැඩ කරන්නෙ කොහොමද, මෙහි තියෙන සැබෑ ප්රයෝජන, අවාසි සහ සාමාන්ය hybrid වාහනවලට වඩා මෙහි ඇති සියලුම තාක්ෂණික වෙනස්කම් මොනවාද කියන එක බලමු.
සරලවම කිව්වොත්, REEV කියන්නේ Range Extended Electric Vehicle කියන තාක්ෂණික සංකල්පයටයි. මෙය මූලිකවම ක්රියා කරන්නේ electric වාහනයක් විදිහටමයි. හැබැයි මේකේ තියෙන සුවිශේෂීම වෙනස තමයි වාහනයේ බැටරියේ විදුලිය අඩුවන විට, බැටරිය නැවත ආරෝපණය කරගැනීම සඳහා කුඩා පෙට්රල් එන්ජිමක් වාහනය ඇතුළතම සවි කර තිබීමයි. BMW i3 Range Extender, Nissan Note e-Power වගේම නවීනතම Li Auto වැනි චීන සුඛෝපභෝගී SUV වාහන රැසක් මේ තාක්ෂණය භාවිත කරමින් මුළු ලෝකයේම රියදුරන්ගේ ඉහළම ආකර්ෂණය දිනා ගැනීමට සමත් වෙලා තියෙනවා. සාමාන්ය plug-in hybrid වාහනවල වගේ එන්ජිමෙන් කෙළින්ම රෝද කැරකවීමක් මෙහි කිසිසේත්ම සිදුවන්නේ නැහැ.

මේ පද්ධතිය පිටුපස කුඩා internal combustion engine එකක්, එයට සම්බන්ධ කරන ලද generator එකක්, ප්රමාණයෙන් විශාල high voltage lithium-ion battery pack එකක්, power control unit එකක් සහ රෝද කරකවන ප්රබල electric motor එකක් මේකේ ක්රියාත්මක වෙනවා. මේකෙ තියන එන්ජිම මෝටර් රථ ඉංජිනේරු විද්යාවේදී හඳුන්වන්නේ range extender එකක් විදිහට විතරයි. වාහනය පණගන්වා ඉදිරියට ධාවනය කිරීමේදී සම්පූර්ණ ක්රියාවලියම සිද්ධ වෙන්නේ ඉතාම සුමට drive modes කිහිපයක් යටතේයි.

පළමු drive mode එක තමයි pure EV mode එක. ඔබ වාහනයේ බැටරිය බාහිරින් wallbox charger එකක් හරහා සම්පූර්ණයෙන්ම charge කරල ධාවනය කරනකොට වාහනයේ තියන පෙට්රල් එන්ජිම කිසිසේත්ම පණගැන්වෙන්නේ නැහැ. බැටරියේ ඇති විදුලි බලයෙන් පමණක් electric motor එක ක්රියාත්මක වෙලා කිලෝමීටර් 100 සිට 200 දක්වා දුරක් 100%ක්ම විදුලි වාහනයක් ලෙස උපරිම නිශ්ශබ්දතාවයකින් යුතුව ධාවනය කිරීමට වාහනයට පුළුවන්. දෛනික නාගරික ගමන් බිමන් සඳහා කිසිදු පෙට්රල් බිඳුවක් වැය නොකර ධාවනය කරන්න මෙයින් හැකියාව ලැබෙනවා.
දෙවැනි mode එක තමයි range extension mode එක. බැටරියේ විදුලි බලය යම් නිශ්චිත අවම මට්ටමකට අඩු වූ සැනින්, පද්ධතිය විසින් ස්වයංක්රීයව internal combustion engine එක පණගන්වනු ලබනවා. ඊටපස්සේ එම එන්ජිම මඟින් generator එක වේගයෙන් කරකවා විදුලිය නිපදවීම සිදු කරනවා. මෙම නිපදවන විදුලිය power control unit එක හරහා කෙළින්ම රෝද කැරකවන electric motor එකට ගිහිල්ල වාහනය දිගටම ධාවනය කරවනව වගේම අතිරික්ත විදුලිය බැටරිය charge කිරීමට යොදා ගන්නවා. එන්ජිම සහ රෝද අතර කිසිදු යාන්ත්රික සම්බන්ධයක් නැති නිසා, එන්ජිම හැමවිටම ක්රියා කරන්නේ ඉහළම කාර්යක්ෂමතාවයක් ඇති ස්ථාවර RPM පරාසයක විතරයි. ඒ වගේම වාහනය තිරිංග යොදන විට අපතේ යන ශක්තිය නැවත විදුලිය බවට හරවන regenerative braking තාක්ෂණයද මෙහි ක්රියාත්මක වෙනවා. මේ නිසා ඔබට දුර ගමනක් යාමට අවශ්ය වුවහොත්, electric වාහනවල වගේ මග charge කරන තැන් සොයමින් අතරමන් වෙන්න අවශ්ය වෙන්නේ නැහැ. පෙට්රල් තියනකන් කල් ඔබට සාමාන්ය වාහනයක් වගේ කිලෝමීටර් දහස් ගණනක් වුවත් එක දිගට ධාවනය කරන්න පුළුවන්.
මේ නවීන තාක්ෂණය නිසා ප්රායෝගික ජීවිතයේදී අපිට ලැබෙන වාසි සහ පහසුව අතිමහත්. ප්රධානම වාසිය තමයි fuel economy හෙවත් ඉන්ධන පිරිමැස්ම. එන්ජිම නිරන්තරයෙන්ම එකම කාර්යක්ෂම මට්ටමක ධාවනය වන නිසා සාමාන්ය වාහනයකට වඩා ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයක් ලබාගන්න පුළුවන්. දෙවැන්න නම් instant torque එක. වාහනය හැමවිටම ධාවනය වන්නේ විදුලි මෝටරයෙන් නිසා electric වාහනයක ඇති ක්ෂණික සහ බලවත් ත්වරණය මෙහිදී අත්විඳින්න පුළුවන්. ඒ වගේම, සාමාන්ය electric වාහන හිමියන්ට නිතරම ඇතිවන බැටරිය ඉවර වෙයි කියන අනියත බිය REEV වාහනවල සම්පූර්ණයෙන්ම නැති වී යනවා.

කෙසේ වෙතත්, මෙහි කාසියක දෙපැත්තක් වගේ අවාසි කිහිපයකුත් තියනවා. ප්රධානම ගැටලුව වෙන්නෙ යාන්ත්රික පද්ධති දෙකක් පවතින නිසා වාහනයේ බර වැඩි වීම සහ නිෂ්පාදන පිරිවැය ඉහළ යාමයි. එමෙන්ම සාමාන්ය electric වාහනයකට වඩා මෙහි එන්ජිම, generator එක වැනි අමතර කොටස් පවතින නිසා, සාමාන්ය electric වාහනවලට වඩා දිගුකාලීනව නඩත්තු වියදම් තරමක් ඉහළ යන්න පුළුවන්. එන්ජින් ඔයිල් මාරු කිරීම, filters මාරු කිරීම වැනි සාම්ප්රදායික නඩත්තු කටයුතුද මෙහිදී සිදු කළ යුතු වෙනවා.
Motor Guide අපේ උපදෙස නම්, ඔබ REEV වාහනයක් භාවිත කරන්නේ නම්, එහි ඇති උසස් high voltage electrical components, inverter සහ බැටරි පද්ධතිය නියමිත කාල පරාසයන් තුළදී සහතික ලත් විශේෂඥයකු ලවාම පරීක්ෂා කර නඩත්තු කළ යුතු බවයි. විශේෂයෙන්ම වාහනයේ ඇති කුඩා range extender එන්ජිම දිගු කාලයක් ක්රියාත්මක නොවී පැවතුණහොත් එහි ඇති ඉන්ධන පරණ වී දෝෂ ඇතිවෙන්න පුළුවන්, ඒ වගේම පද්ධතිය විසින් ස්වයංක්රීයව සිදු කරන maintenance mode ක්රියාවලියට බාධා නොකිරීමට වගබලා ගන්න. නිරන්තරයෙන් බැටරියේ සෞඛ්ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීමෙන් සහ නිවැරදිව නඩත්තු කිරීමෙන් ඔබේ REEV රථයෙන් උපරිම මෙන්ම ආර්ථිකමය ඵලදායීතාවයක් දිගුකාලීනව ලබාගන්න පුළුවන්. ඒ වගේම නවීන වාහන සහ තාක්ෂණය ගැන මෙවැනිම වටිනා තොරතුරු දැනගන්න හැමදාමත් අපේ Motor Guide එක්ක රැඳී ඉන්න කියලත් මතක් කරනව.

ලියන ලද්දේ
Nisaga Sandaru
A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.





































